Tuesday, November 21, 2017

"පෙර දිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා"

"පෙර දිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා"

අමරදේව මහත්තයා ගායනා කරන මේ ගීතය මුලින්ම අහන දවසෙ මම හිතුවා මේ තමන්ගෙ පෙම්වතිය අහිමි වුනු පෙම්වතෙකුගෙ විලාපයක් කියලා. ඇය ඔහුගෙන් වෙන්වෙලා ගිහින් වෙන විවාහයක් කරගෙන දරුවෙක් ලැබිලා තමන්ගෙ කලින් පෙම්වතා ලියලා දුන්න ගීතයක් ගයමින් තමන්ගෙ දරුවා නළවනවා. මේ නැලවිලි ගීය අහම්බෙන් එතනින් යන ඇයගෙ කලින් පෙම්වතාට ඇහෙනවා සහ එහිදි ඔහුගෙ හිතේ ඇති වෙන හැගීම් මේ ගීය ඇතුලෙ ලඝු වෙනවා කියන හැගීමක්. ඇත්තටම රචකයා මේ අකුරු කරන්නේ ඒ හැගීමද? එය ඉන් හාත්පසින්ම වෙනස් විය නොහැකිද?

"පෙර දිනයක මා පෙම් කල යුවතිය" 

කලකට පෙර හමුවෙන පෙම්වතිය ගැන පෙම්වතා මතක් කරන්නෙ මෙහෙම.එදා ඔහු පෙම් කල පෙම්වතිය අද තමන්ගෙ පුතා නලවනවා. ඒ තමන් එදා ඇය වෙනුවෙන් ලියලා දුන්න ගීතයක් ගයමින්. මේ ගීතය ඈතින් පෙම්වතාට ඇහෙනවා. ඇත්තටම දැන් ඔහු ඇගේ පෙම්වතා නෙමෙයි. ඇය විවාහකයි.ඇයට දරුවෙක් ඉන්නවා. ඇය තමන්ගෙ කලින් පෙම්වතා ලියලා දුන්න ගීතයක් ගයමින් දරුවා නලවන්න හේතුව මොකක් වෙන්න ඇතිද?සමහරවිට ඇය තවමත් හිතෙන් ඒ කලින් පෙම්වතාට පෙම් කරනවා ඇති. 
ඔව්.
මොකද ඔහු අද ඇගේ පෙම්වතා නොවුනත් ඔහු අද ඇගේ සැමියා. මේ නැලවෙන්නේ ඔවුන් දෙන්නගෙම පුතා.

"නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා"

එදා පෙම් කරන කාලෙ ඇගේ ලස්සනට වශී වෙලා පෙම්වතා ඇය දෙස බැලුවෙ නුරාවෙන්. ඇය පෙම්වතා දෙස බැලුවෙත් නුරාවෙන් මත් වෙලා. ඇගේ දෙනුවන් වලින් පෙම්වතාට ආරාධනා කලේ අනුරාගික ඇසුරකට බව ඔහුට මතකයි. නමුත් ඒ නෙත් දෙකෙන්ම අද ඇය තමන්ගෙ දරුව දෙස බලන්නේ දයාවෙන්,කරුණාවෙන් සහ අපරිමිත සෙනෙහසකින්.  ඒ දයාව කැටිකරගත් නෙත් දෙකේ වෙනස ඔහුට දැනුන බව තේරුණ නිසා වෙන්න ඇති ඔහු හිනැහෙනකොට ඇය අවිහින්සක ලෙස ඔහුට කෝළ බැල්මකින් සන්ග්‍රහ කරලා නතර වෙන්නේ. ඒ හැගීම රචකයා අකුරු කරන්නේ 

"සිනාසුනෙමි මම අවිහින්සක ඇය කෝළ බැලුම් හෙළුවා"  

කියලා.

කාලය ඉතා ඉක්මනින් ගතවෙලා. එදා පෙම්වතුන් වෙලා හිටිය ඔවුන් අද විවාහ වෙලා දරුවන් ලබලා. මේ ගතවුණ කාලය ඇතුලෙ කොච්චර දේවල් වෙනස් වෙලාද. හිරුට සදුට හොරෙන් කාලය ගෙවිලා ගිහින් වගේම කාලය ගොඩක් දේවල් වෙනස් කරලා.එදා සුරගනක් වගේ හිටිය, හැමවෙලාවකම තමන්ගේ ලස්සන වැඩි කරගන්න දගලපු,ලස්සන ඇදුම් අදින්න වෙහෙසුන ඇය අද ඒ දේවල් පැත්තකින් තියලා ජීවිතේට මුහුන දෙන්න පටන් අරන්. පෙම්වතා එදා දැකපු රූ සපුව කාලයත් එක්කම ඇගෙන් වෙන්වෙලා ගිහින් අද ඔහු ඉදිරියේ පරිණත ගැහැණියක් නිර්මාණය වෙලා.

"හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරු කෙමෙක් මැකී යනවා"

මේ පරිණත ගැහැනිය නිර්මාණය වුණේ කොහොමද කියන එක මහලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. ඒකට උදව් වුණ අතීතය පෙම්වතාට මතකයි. ඔහු සිහිකරනවා එදා ඔවුන්ගෙ ආදරයට දෙමව්පියන් විරුද්ධ වෙලා ඇයව හොරෙන්ම කසාද බැදලා කැන්දගෙන එනකොට සාක්කියට හිටියේ ඉස්සරහ වැට අද්දර පිපුන අර නාමල් ටිකම නේද කියලා.

"එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහි වෙනවා"

එදා එහෙම ඇවිත් රස්සාවක් නැතිව කන්න බොන්න විදියක් නැතිව දුක් විදිනකොට පිපුන නාමල් අදත් ඒ විදියටම පිපෙනවා. ඒ මල් දකින වාරයක් ගානෙ මේ පෙම්වතා සහ පෙම්වතිය එහෙමත් නැතිනම් අඹුසැමි දෙපළගෙ මතකෙට එන්නෙ තමන් එදා විදපු නිරා දුක්කම් කටොළු. 

මේ ඒ දුක් වලට සමු දීලා අද සැනසුම් සුසුම් හෙලන පෙම්වතකුගෙ සහ පෙම්වතියකගෙ මුල මැද අග ගැලපුන කථාවක මිහිරි වැනුමක් රචකයා හරි අපූරුවට පද වැලක අමුණපු තැනක්.


" පෙර දිනයක මා පෙම්කල යුවතිය 
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් 
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන 
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහින්සක ඇය 
කෝළ බැලුම් හෙළුවා

හිරුට සදුට නොකියා හොර රහසේ 
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරු 
කෙමෙක් මැකී යනවා

එදා වගේ තවමත් වැට අද්දර 
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය 
යළි මට සිහි වෙනවා"













අදත් මතකෙට නැගුණේ
එදා සරතැස මුහුණේ
පියාගත් නෙතු ගැටුණේ
සදා නුඹ දුටු සිහිනේ

පුරා පැල්පත හෙවනේ
චිමිනියෙන් නුඹ දැවුණේ
විලාපය නොව මව්නේ
දිරිය නුඹ නොවැ දුන්නේ

Friday, October 6, 2017

හරිදාව හරි නපුරුයි !!!

මහත්තයා මේ ඉතුරු සල්ලි... මහත්තයා ... මහත්තයා...

ඉතුරු රුපියල් දෙක වෙනුවෙන් උඹ කැ ගහපු තරමක්. කමක් නෑ .තියාගනින්.දුවගෙන ඇවිත් දුවන්න ගත්ත කෝච්චියට නැගගත්ත එකම මදිද. හ්ම්ම්. සෙනගත් අඩු එකේ ඔන්න ඔහෙ ඉදගෙනම යනවා.

මූණ පේන්නෙ නැති වුණාට මොකද පොඩි එකා මට ගහපු පයින් පාරට  ඇස් දෙක ටිකක් හීන් කරලා මගෙන් සමාව ඉල්ලන්න ඇති. 

 "ඔයා කොහෙද ?"

"කෝච්චියට නැන්ගා"

ඒ ඇති. මම නිදාගත්තා.කොහෙ නිදාගන්නද. මේ පොඩි එකාට දාන්ගලේ. පයින් ගහනවා, ඇගට පනිනව, ඔළුවට අනිනව ඉවරයක් නෑ. ඔන්න ඔහෙ ජනේලෙන් එළිය බලාගෙන යනවා.පොඩි එකාටම ඇති වෙලා නතරකලොත් ටිකක් නිදාගන්නවා. 

"මේ මරදාන දුම්රිය ස්ථානයයි. හතරවන වේදිකාවට පැමිණි දුම්රිය කොළඹ කොටුව දක්වා පමණයි"

ඇති යන්තම්. පොඩි එකත් අරන් කළු ලෝගුව පොරවගත්ත ගෑණු කෙනා බැහලා ගිහින්.දන්නෙම නැතුව නින්දත් ගිහින්. 

ෆෝන් එක අතට ගත්තෙ කාටවත් කථාකරන්න නෙමෙයි. පුරුද්දට වගේ.

"අවුරුදු ගානකින් ලගට දකින්න ලැබුණෙ.හරිදාවට බැනලා ආයෙත් කවි ලියන්න එපා.එහා පැත්තෙ මහත්තයා ඉදගෙන ඉද්දි ඔයා ලග ඉදගෙන අඩන්න ඉඩ ලැබුණෙ ඒ බැනපු හරිදාව හින්දා. පරිස්සමින් ඉන්න"

ඉන්ගිරිසියෙන් එවලා තිබුණෙ. හ්ම්ම්!!!





Saturday, September 23, 2017

ප්‍රෞඩ ඉතිහාසයක හිමිකරුවන් වන අභිමානණීය සාඩම්බර සිරි ලාංකිකත්වය!!!

අතීතය ලොකු නිසා
පම්පෝරි ගස ගසා
අතීතය පොඩි උන්ගේ
වත්මනේ දණගසා
උන් හදට යන විටත්
නැගිට දණි පණි ගසා
යෝධ ඇළ නමපු හැටි
කියමු අපි ඉකි ගසා ...

කවට කෙළි

හිරු කවට කෙළි 
සද
තරු පැතුම් පොදි බැදන්
සද 
දිහා බලාගෙන
හූල්ලන අපූරුව !!!
හසගන වෙසගන
රසඅග සසදන
පුරගන පරදන
පතරග නළුවා!!!

අසික්කිත ලක්දිව...

මවට නිදිගෙන
බුරියට ඇහැරෙන
දෙවන පන්තියෙ
වැදගතුන්
හා
පොත් කියවන
පොස් මැඩම්ස්...
විලම්භිත පැරකුම්
වසුරු ගොඩ අතරින්
නුඹ කෙරූ විස්කම්
බලාසිටි අපූරුව...

සාඩම්භර ඉදුල් කෑම

සරාගී නිළිය ලග
විකුම් රග කළ
නිශ්පාදක තැන
කැමරාකරුට බැනවැදි අපූරුව..
කැමරාකරු හිතින් හිනැහුනු රග
"ඕකත් මන් ගහපු එකක්"!!!

අසම්මත මව් පෙම

හයක් හතරක් නොදත් අම්මා
පොඩි එකා පන්තියට දැම්මා
වැලි කෙළිය දැන් ඉතින් සුම්මා
ගෙදර බුදුනගෙ පැතුම් නිම්මා

උදේ හතරට නැගිට අම්මා
පුතුට ඇදුමක් පහට දැම්මා
පාසලේ කවි කියා සම්මා
දෙකට දක්කන ගාල හම්මා

පහට ගෙන පතියෙන් අම්මා
පහයි තිහෙ පන්තියට දැම්මා
හදිස්සියෙ යන ගමනෙ අම්මා
බනිස් ගෙඩියක් කටට දැම්මා

අටට පුතු ගෙන පුතුගෙ අම්මා
ගෙදර දුවවිත් දිගැති පිම්මා
ඔලුව අතගා පුතුට බුම්මා
පොත් තටාකෙට පුතුව දැම්මා
පුතු ගිළුණා ...

Saturday, July 1, 2017

සුපින්වත් මැණිකේ

සුපින්වත් මැණිකේ
උඹ වටේ බලු රැළක් කැරකේ
පතිනිවත හනිකේ
ඔතා පලයන් පදුරෙ වැටකේ !!!

Saturday, April 1, 2017

නිදහසට කරුණු...

හිමාලය දුර නිසා
කටු පඳුරු වැඩි නිසා
තපස කැප නැති නිසා
පසු බසිමි ඉකිගසා

Sunday, January 8, 2017

චින්තනය

රැඩිකල් පසුම්බිය
හරිගණන්
හිඟන්නෝ උඹ ගාව
ගඳ හින්දා
වෙන්න ඇති

සෙවූ මා දා

ලතාවක් නැති කථාවක් මැද
නිමාවක් නැති දයාවක්
සොයා ආ දා 
සෙවූ මා දා
රටාවක් නැති 
නිමාවක් !!!

සබඳ

කටු මැටි පැළ 
ගතු කිව්වා
නිදි යහනේ 
තෙහෙට්ටුවට 
පෑල දොරත්
සාක්කි වග !!!