හිතන්‍නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්‍ටත්
දෑස් දුන් මිනිසා සොයා"
කලා වැව ලඟ මැටි පැළක ඉදගෙන රිදෙන අත පිරිමදිමින් ඒ අත් දෙක කරපු විස්‍කම් දිහා බලාගෙන සැනසුම් සුසුම් හෙලන ගල් වඩුවෙක් හිතේ මවාගෙන එක සීරුවට දෙතුන් පාරක් මේ සින්දුව අහන්‍න ඇති. ඉසුරුමුණියේ පෙම්‍බරිය ගැන අහනකොට හිනැහුණ අපූරුව තනිකඩ ඔහුගේ සිතුවිලි සිතුවමකට ගන්‍න ඉඩ හසර සලස්‍වන එක අරුමයක් නම් නෙමෙයි.
ඒත් මට මෙහෙම හිතුණා. ලියපු කෙනාට ලියන්‍න අවසර වගේම අහන කෙනාට විඳගන්‍නත් පවුරු වළලු නැති කොට ඔන්‍න ඔහේ එහෙමත් වින්‍ඳා. මෙන්‍න මෙහෙම වගේ,
ඇත්‍තටම නිවන කොච්‍චර සැප ඇතිද?
එතකොට බුදුබව කොපමණ සුව ඇතිද?
ඒ සියුමැලි සුවය ලඟ මේ සසර ගමන කොච්‍චරක්‍නම් කටුක, රළු ඇතිද?
නිවනෙ අත්‍පොත් තබා සිල් පද පහවත් රකින්නෙ නැති මම කොහොම දැනගන්‍නද ඒ අරුමෙ. මේ තරම් සියුමැලිද කියලා මට හිතාගන්නවත් බැරි සසර කළුගල මැදුම් පිළිවෙතේ පාදම් කණු අටක හිටවලා අවුකනට පණ දීලා බුදුබවේ දෑස් දුන්‍න ඒ මිනිසා හොයාගෙන මම ගියානම්. ඒ අප මහා බෝසතාණන් වහන්සෙ හොයාගෙන මම ගිය ගමනෙ මට හමුවෙනකොට උන් වහන්‍සෙ නිරාමිස මැටියෙන් තැනුණ මාසෙ පඩියෙන් අපට හදාගන්‍න බැරි වුණ තිලොවට ඇති සුවපහසුම නවාතැන්පොළට වෙලා ඉපිද මැරෙන සසර රළ දිහා බලන් ඉන්‍න අපූරුව. දෑත් පිරිමදින්නෙ රිදුම් දෙන හින්දා කියලා මිසක් දෑත් පිරිමදිමින් බලන් ඉන්නෙ නිවන නම් පැදුරෙ වකුටු වෙන්‍න එකෙක්‍හරි උත්‍සාහ කරයි කියන උපේක්‍ෂාසහගත හැඟීමෙන් කියලා මට නොතේරුණේ මගෙ අසරණකමට මිස වෙන මොන කෙංගෙඩියකටද.
"කලා වැව ලඟ ඉලුක් හෙවණක
මැටි පැළක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපැදෙන රළ දිහා"
"ඉසුරුමුණියේ ඔබ තැනු
පෙම්බරිය කොයිදැයි කියා"
මට හිතුණා ඔබෙන් අහන්න ඉසුරුමුණියෙ ඔබ කළ ඒ අපූර්වතම කැටයමට මුල් වෙච්ච, මඟ කිව්ව පෙම්බරිය දැන් කොහෙද කියලා. ඇත්තටම ඇය ඔබව හැර ගියාවත්ද? බුදුබව නම් කැටයමට මඟ කියූ ධර්මයනම් පෙම්බරිය තවමත් ඔහු ලඟ ඉන්න බව නොතේරුණ මට හීන් හිනාවකින් සංග්‍රහ කරලා තවම තනිකඩයි කියලා කිව්වෙ මැරෙන ඉපදෙන රළ පාරෙ දඟලන අසරණ මට අනුකම්පාවෙන් වෙන්න ඇති මයෙ හිතේ.සමහරවිට කල්‍ප ලක්‍ශ ගණනක් පෙරුම් පුරන මඟ විදි දුක් කම්‍කටොළු බාධක වලට තනිව මූණ දුන් හැටි, අවසන ධර්‍මය ගුරු කොට ඒ සියුමැලි සුසිනිඳු නවාතැනට ආ හැටි මතක් වෙලා මුවට හිනාවක් ආවා වෙන්‍නත් පුළුවන්.
"මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයැයි කියා"
ඇත්තටම ඒ තරම් සියුමැලි ඇති. කළුගල්.
මට හිතාගන්නවත් බැරි වුණාට !!!
No comments:
Post a Comment