"අයියේ !!! අයියේ!!! "
වෙලාව හවස හයට විතර ඇති. වෙල් යායට මූණ දාලා අටවලා තිබුණ කොට කෑල්ල උඩ ඉඳගෙන බලන් ඉන්නකොට ඉර බැහැලා යන හැටි කොච්චර ලස්සනද.බාප්පාගෙ කටහඬ කියලා දැන දැනත් මොකටද ආවෙ බලන්න යනවට වඩා මට මෙතන ඉන්න එක වැදගත්. මන් ගිහින් එනකොට ඉර හොරෙන්ම යන්න ගිහින් තිබුණොත් කාට කියන්නද.
හරිනම් අප්පච්චි හෙට මෙහෙ ඇවිත් අපිත් එක්කරගෙන කොලඹ යන්න ඕනෙ. එන්නෙ නැති වෙයිද දන්නෙත් නෑ.ගිය සතියෙත් ආවනෙ. ආවොත් හොඳයි. කොළඹ යන්නෙ කෝච්චියේ එන්ජිමේනෙ, අප්පච්චිගෙ යාළු මාමා හිටියොත්. ඔන්න ඉතින් කෝච්චියේ කොලඹ ගිය හැටි මතක් කරලා වෙච්ච් දේ. මෙච්චර වෙලා බලන් හිටියට වැඩක් නෑ, ඉරත් බැහැලා ගිහිල්ලනෙ.
හෙමින් හෙමින් මාමලාගෙ ගෙට ගොඩ වෙනකොට එයා බාප්පා එක්ක බර කථාවක්.
"පුතේ මල්ලිට ඇඳුමක් අන්දවගන්නකො" ඒ මාමා.
"මේ මොන හත්තිලව්වකද මහ රෑ මට ඇඳුමකුත් අන්දගෙන එක්කන් යන්න හදන්නේ"
යන අතරමග තමයි මට තේරුණේ මේ යන්නෙ අපේ ගෙදර කියලා. දැන් රෑ තිස්සෙ රවුම් ගහලා හෙට ඉස්කෝලෙ යන්න ඇහැරවපු දෙන්කො.
ගිය මාසෙ එනකොට මකුණු දැල් බැඳලා කැතේ බැරුව තිබ්බ අපේ ගෙදර ගමේම අය ඇවිත් සුද්ද කරලා. මෙන්න බොලේ මල්ලිලයි නන්ගිලයි සේරමත් ඇවිල්ලා. අදනම් හොඳට සෙල්ලම් කරලා මාමට කියනවා හෙට ඉස්කෝලෙ යන්න බෑ කියලා. ඒත් ගමේ මිනිස්සු සේරම මේ මහ රෑ අපේ ගෙදර මොකක් කරනවද.
"බස්නාහිර කොහෙද අයියේ?"
"අහ්, ඔය දිග ජනේලෙ තියෙන පැත්තට මල්ලි"
මම සාලෙට දුවගෙන ගියෙ ගිය මාසෙ පැදලා දාලා ගිය මගෙ බයිසිකලේ මේ මිනිස්සු කොහෙ දාලද කියලා හොයාගන්න.නැත්තන් ගිය පාර ගෙදර පිරිත් කියලා ඉවර වෙනකොට මගෙ සෙල්ලම් බඩු ටිකට වෙලා තිබුණ එකම තමා ඕකටත් වෙන්නෙ.අම්මා අරන් දීපු පොඩි කාර් සෙට් එකෙන් දෙකක් තවත් නෑ.සාලෙට අඩිය තියනකොටම හිටිය මිනිස්සු අයින් වෙලා මට යන්න ඉඩ දුන්නට කෝ ඉතින්, කවුදෝ මනුස්සයෙක් මාව බදාගෙන මට යන්න දුන්නේ නෑනෙ එතනින් එහාට.
බයිසිකලේ කොහෙ හොයන්නද. මේ අප්පච්චිනෙ මාව බදාගෙන තියෙන්නෙ.අම්මගෙ ඔළුව බස්නාහිරට හරවලා පොල්තෙල් පහන පත්තු කරනකල් වෙන්න ඇති මයෙ හිතේ.
"බස්නාහිර කොහෙද අයියේ?" එහෙම අහලා තියෙන්නේ මල්ශාලාවෙ මාමා...
No comments:
Post a Comment