Tuesday, November 7, 2023

 "ගොඩක් වෙලාද ඇවිත්?"

"මම ආව වෙලාව ඔයා දන්නවා"

ඔව් ඇත්තටම මම ඒ වෙලාව දන්නවා.මොන වැඩ තිබුණත් මම එයාට කලින් හැමදාම එනවා,මේ බංකුව උඩ අපිට ගෙවන්ඩ තියෙන එක විනාඩියක්වත් නැති කරගන්ඩ මට වුවමනාවක් නැති හින්දා.

"ඔව් මම ඇවිත් හිටියෙ"

"මගෙ හොර අල්ලන්න හදනවද හැංගිලා බලන් ඉඳන්?"

"හොරු අහුවෙන්ඩ හොරකම් කරන්නෙ නෑ කියලා මන් දන්නවා."

මට බොරුවක් කරන්ඩ හේතු එයාට නෑ.එයාට බොරු කරන්ඩ මට හේතුත් නෑ.මේක සිද්ද උනේම එහෙමයි.

"මේ අපි අවුරුදු ගාණක් හම්බ වෙන බංකුව. ඒ හැමදාම මන් ඔයාට කලින් මෙතන්ට ආවා. ඔයා ඒක දන්නෙත් නැතුව ඇති".

"මන් ඒක දන්නවා කියලා ඔයත් දන්නවා"

මට තියෙන්නෙ හිතන්ඩ විතරයි.කියන්ඩ කලින් එයා ඒක දන්නවා. 

"ඇයි මාව අමතක කරන්නෙ නැත්තෙ?"

"ඇයි මාව අමතක කරන්නෙ නැත්තෙ?"

අපි මුහුද දිහා බලන් හිටියා.වෙනදා වගේම.මගෙ උරහිස උඩින් ඔළුව තියාගෙන ඉන්ඩ තමයි එයා ආසම.මන් මුකුත් කිව්වෙ නෑ.

"ඔයාට මතකද අපි අන්තිමට හම්බුණ දවස?"

"අපි තව දවසක් ඉඳලා යන්ද කියලා අහපු බණ්ඩාරවෙල හෝටලේ. අපිට තව දවසක් ඉන්ඩ තිබ්බා"

"ඒ අපි හම්වෙන අන්තිම දවස කියලා දැනන් හිටියනම් මම එදා ආපහු එමු කියන්නෙ නෑ කියලා අපි දෙන්නම දන්නවා"

"නේද?"

"හ්ම්ම්"

ඊට වඩා මොනව කියන්නද. ඒ ගමන මට ජීවිතේට අමතක කරන්ඩ බැරි ගමනක්.අපිට ඕන කරපු හැමදේම අපිට හම්බුණ ගමනක්.අපිට ඕන නොකරපු එකම දේත් අපිට හම්බුණ ගමනක්.මම කොළඹින් පිටත් වෙලා නුවරට යද්දි හතරට විතර ඇති.

"හෙලෝ,මම මාළිගාව ලඟ"

"මම එනගමන් පැටියො,විනාඩි දෙකක් දෙන්න"

පල්ලියෙන් කියලා තිබ්බ,අම්මලා හුරුකරලා තිබ්බ, නීතියක් වෙලා තිබ්බ සල්වාර් එකෙන්,මූණ පොඩ්ඩක් පේන්ඩ කටු ගොඩක් ගහලා ඔළුවෙ පටලපු රෙදි කෑල්ලෙන් අයින් වෙලා ඩෙනිමයි ටීශර්ට් එකකුයි ඇඳගෙන කුරුල්ලෙක් වගේ පියාඹන්න පුළුවන් ගෙදරකට කසාද කොළේක ලියලා එයා එතකොටත් ගිහින්.

එයා වැව ඉස්සරහින් ඇවිත් වාහනේ දොර අරිනකල් මට එදා මාළිගාව ලඟ තිබුණ කිසිදෙයක් පෙනුනෙ නෑ.මම එයාගෙ නොදැකපු දෙයක් නෑ.හැබැයි ඒ විනාඩි දෙකට පෙනුන තරම් ලස්සනක් මට ඊට කලින් එයාගෙ පෙනිලා නෑ.සමහරවිට ඒ අපේ අන්තිම හමුවීම හින්දද කියලා මට අදටත් හිතෙනවා.

"මොනවද බලන්නෙ?"

"ලස්සන"

"මේක හොර ගමනක්ද?"

"නෑ නේද?"

එතනින් එහාට එයා මගෙ අතින් අල්ලගෙන හිටියා විතරයි.කොහෙද යන්නෙ,කවදද එන්නෙ කියලා අහන්ඩ වුවමනාවක් එතනින් එහාට අපිට තිබ්බෙ නෑ.

අපි හොටෙල් එකට එද්දි අපිව පිළිගන්න,අපේ බෑග් ටික කාමරේට දාන්න පොඩි කොල්ලෙක් වාහනේ ලඟට දුවගෙන ආවා.ඌ මට ආයුබෝවන් කියලා හොරෙන් බල බල හිටියෙ එයාගෙ ලස්සන.ඇත්තටම මට ආඩම්බරයි වගෙත් හිතුණා.

"මේකෙ හොට් වෝටර් වැඩ නෑනෙ පැටියො,පොඩ්ඩක් බලන්නකො"

එයා වොශ් රූම් එකේ ඉඳන් කෑගහනකොට මම ෆෝන් එක ඕෆ් කලා විතරයි.

ඒ අපි එකට නාපු පළවෙනි දවස නෙමෙයි.එකම දවසත් නෙමෙයි.හැබැයි අන්තිම දවස වෙන්න එපා කියලා අපි දෙන්නම හිතුවා.

"මුස්ලිම් සුවඳයි"

" අහ් ඇත්තට,ඒ මොන සුවඳක්ද ඒ?"

අපි අස්සෙන් වතුරට වැටෙන්න ඉඩක් නෑ.

ඇත්තටම අපිට උණුවතුර ඕනි වුණේ නෑ.එතනින් එහා අපිට කිසිදෙයක් ඕනි වුණේ නෑ ඒ දවස් දෙකකටම.

"අපි දැන් යන්ඩම ඕනෙද?"

"ම්ම්,ඔයා හෙට යන ගමන යන්ඩම ඕනෙ හින්දා,"

එහෙම කියාගෙන බෙඩ්ශීට් එක අයින් කරලා නැඟිටලා එයා මගෙ ටීශර්ට් එකක් දාගත්තා.

"මහත්තයා මීදුමනම් වැඩියි,මේ වෙලාවෙ යනවට වඩා හෙට උදේ ගියානම් හොඳයි කියලත් හිතෙනවා"

එහෙම කිව්වෙ අපේ බෑග් ටික වාහනේට දාන ගමන් හොටෙල් එකේ කොල්ලා.ඒක එහෙම වෙන්ඩ තිබුණා.එහෙම නම් අද මෙහෙම නොවෙන්ඩ තිබුණා.

"අපිට හෙට උදේ පොඩි වැඩක් තියෙනවා.අපි හෙමින් යන්න බැලුවේ."

"හොඳයි සර්,පරිස්ස්මට එහෙනම්"

හිනාවක් දාල කොල්ලගෙ අතින් රුපියල් පන්සීයක් තියලා අපි හවස පහට විතර හෝටලෙන් පිටත් වුණා. ඒ මට පහුවදා එයාගෙන් ඈත් වෙලා අවුරුදු ගාණකට සෑහෙන දුරකට යන්ඩ තිබුණ හින්දා.

අපි හෙමින් කඳු ටික බැහැගෙන එනකොටත් එයා එද්දි හිටියා වගේම මගෙ අතින් අල්ලගෙන.කතාකරන්න ගියොත් එයා අඬනවා කියලා මම දන්නවා.

අපි දෙන්නම කොළඹට ගිහින් අඬමු කියල මගෙ හිතට කියාගත්තා.

"ඔව් අපි කොළඹට ගිහින් අඬමු"

එයා මන් දිහා බලල අත කොනිත්තලා එහෙම කිව්වා.

"අනේ අයියේ,මගෙ නෝනව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්ඩ,එයාට සිහිය නෑ"

මට මතක එච්චරයි. එතකොටත් සෑහෙන මිනිස්සු ගොඩක් වාහනේ වටේ ඉන්නවා කියලා මට දැණුනා.

සිහිය ඇවිත් ඉස්පිරිතාලෙන් ගෙදර එනකොට, එයා මම ආසම සල්වාර් එක ඇඳලා,ඔළුවට හිර වෙන්න කොණ්ඩ කටු ගොඩක් ගහලා අපි හනිමූන් එකට ගිය වෙලේ කාමරේදි මම ගත්ත ෆොටෝ එකකට අම්මලා සුදු මල් මාලෙ දාල තිබුණා.

රෑ අටහමාරයි,අපි තවම බංකුව උඩ.එයා මගෙ උරහිස උඩ. එදා වගේම මුහුද දිහා බලාගෙන.

~~ මයෝ ~~

No comments:

Post a Comment