Wednesday, May 1, 2024

 "පුළුවන්නම් හෙට ඇවිත් යන්න,ආයෙ අපිට කතාකරන්න වෙන එකක් නෑ"


මන් වැඩ ඇරිලා එනගමන් කැන්ඩි ට්‍රේන් එකේ.වෙනදටනම් එයා මගෙ එහා පැත්තෙ ඉඳන් යනවා. ඒත් හෙට දවසට ලෑස්ති වෙන්න තියෙන හින්දා එයා අද නිවාඩු දානවා කිව්වා.ඔව් ඒක එයාගෙ ලස්සනම දවස.හෙටින් පස්සෙ එයා ආයෙ වැඩට යන්නෙත් නෑ.ඒක එයාගෙ මහත්තයගෙ කැමැත්ත.

ඒ මැසේජ් එක කියවලා ෆෝන් එක පැත්තකින් තියලා මන් කල්පනා කලේ අපි ආයෙ හම්බ වෙන්නම ඕනෙද කියලා.මිනිස්සු පපු පැලෙන්න ආදරේ කරනවා මන් අහලා තියෙනවා වුණත් ගෑණු පපු කීරි ගැහෙන්න ආදරේ දරාගන්නවා කියලා මට ඉගැන්නුවෙ එයා.ඒ කවදාවත් අයිතියක් ඉල්ලපු නැති ආදරයක්. මේ වගේ අහිංසක ඉල්ලීමකටත් මන් කන් දුන්නේ ඉඳලා හිටලා. එහෙම වෙලත් කවදාවත් ඒවට පැමිණිලි ලියලා විභාග වෙලා නෑ.

හේතුව මොකක් වුණත් මට හෙට එයාගෙ ලස්සනම දවසෙ එයාගෙ ලස්සන බලන්න යන්න හිතුණා.ඔෆිස් එකට කතාකරලා නිවාඩුවක් දැම්මෙ හිත වෙනස් වෙන්න කලින්. අපි හම්බවෙලා අවුරුදු අටක්.ඒත් එයාට එයාව හොයන් ආව මනුස්සයා එක්ක කොලේක අත්සන් කරන්න වෙන්නෙ ඒ වන්සවත් පවුලට මගෙ තිබ්බ නොගැලපීම හින්දා.ඒක දරාගන්න අමාරු වුණත් පෝරුවක් උඩ තියලා අශ්ඨක කියද්දි මට දරාගෙන බලාගෙන ඉන්න වෙනවා.ඇත්තටම ඒක හරි අමාරු වැඩක් වෙයි.

"මම හෙට ඔයා ආසම විදියටම ලස්සනම ලස්සනට ඉඳියි, එනවා නේද ඔයා?"

"මම අරන් දුන්න අර සුදු ශර්ට් එක ඔයා ලඟ තියෙයිනම් හෙට ඒක ඇඳන් එන්න ප්ලීස්"

මගෙන් උත්තර නැතත් එක දිගට මැසේජ් එකින් එක එද්දි මට පුරුදු නැති ගතියක් දැණුනත් ඊට වඩා මට කල්පනා කරන්න දෙයක් තිබ්බ හින්දා මන් ඒවා කියවන්න ඇහැට විතරක් ඉඩ දුන්නා.

"මට දැන් නවතින්න වෙලාව,හෙට ඔයා එනවා කියලා මන් දන්නවා.පුළුවන්නම් විතරක් මගෙ නෑදෑයො සේරම ඉස්සරහ එකම එක වතාවක්,අන්තිම පාරට මාව බදාගන්න.කවුරුත් මුකුත් කියන එකක් නෑ"

"සත්තයි මන් අඬන්නෙ නෑ"

ඒ වචන වලට වඩා පිහියකින් පපුවට අනින එක දරාගන්න ලේසියි කියලා මට හිතුණා.යවන්න උත්තරයක් නැති හින්දා මමත් නැවතුණා.

මම උදෙන්ම වාහනේට ගොඩ වුණේ එයා කියපු විදියට එයාගෙ ශර්ට් එක ඇඳගෙන.කෝට් එකනම් එතන්ට ගිහින් දාගන්නවා.හිතුණොත් ඒක නොදාම ඇතුලට යනවා.හෝටලේකත් නෙමෙයිනෙ තියෙන්නෙ උත්සවේ.ඇත්තටම මන් එයාව හග් කලොත් ප්‍රශ්ණයක් වෙයිද එයා නෑ කිව්වට. එයාගෙ ලස්සනම දවසක් මන් නාස්ති කලා වෙයිද මේ ගමන නිසා. ඒත් එයාගෙ හිත රිද්දන්න ඕනෙ නෑ. වෙන දෙයක් වෙයි.අපි බලමු.මේ සේරම හිතත් එක්ක කතා කර කර මන් එයාගෙ ගෙවල් පාරට වාහනේ හැරෙව්වා.

එතන ඉඳන්ම පාර සරසලා,කොඩි දාලා,පාර දිගට වාහන නවත්තලා. ඉඩ තියෙන තැනක් බලල වාහනේ නවත්තගත්තත් මට කකුල් දෙක පණ නැති වෙලා වගේ.

එයාගේ නෑදෑයො,යාලුවො,බඳින මනුස්සය,ඒ මනුස්සයගෙ නෑදෑයො සේරම පිරිලා ඉද්දි මන් දැන් කොහොමද මේ මැදින් ගේ ඇතුලට ගිහින් එයගෙ මූණ බලන්නෙ.මෙච්චර සෙනඟක්,මෙච්චර සැරසිලි ගොඩක් ,මේ වගේම හැඟීමක් බලාපොරොත්තු වුණත් මේ මන් හිතන් හිටිය විදියවත් බලාපොරොත්තු වුණ විදියවත් නෙමෙයි.

මම කොච්චර වෙලාවක් වාහනේ නවත්තගෙන එතන හිටියද කියලා මට මතකයක් නෑ.මිනිස්සු මගෙ දිහා සතෙක් දිහා බලනවා වගේ බලන් ඉද්දි මම ඒ ඇස් වල ගොදුරක් වෙලා හෙමින් නැගිටගෙන ගෙයි දොර ලඟට යද්දි එයා කිව්ව වගේම ලස්සනම ලස්සන ලොකු ෆොටෝ එකක් එයාලා ලඟින්ම තියලා. එයා කිව්වෙ ඇත්ත එයා අද දේවතාවියක් වගේ ලස්සනයි.සාරිය ඇඳලා,ඇහිබැමි ලස්සනට පාට කරලා,ලිප්ස්ටික් ගාල. ප්‍රීශූට් එක දවසෙ අරන් තිබ්බ ෆොටෝ වලටත් වඩා අද එයා ලස්සනයි. 

එයා මට ඒ සේරම එවලා අන්තිමට කියලා තිබ්බේ

"මේ මන් ඔයා එක්ක ගන්න හිටිය ඒවා.මට සමාවෙන්න" 

කියලා.

හස්බන්ඩ් එයා ලඟට වෙලා ඉඳන් ඉන්නකොට මම කොහොමද එතන්ට ගිහින් එයා ඉල්ලපු විදියට එයාව බදාගන්නෙ.ඇත්තටම මට එහම කරන්න අයිතියක් නෑ. ඒත් මම එයා ලඟට ගියා කියනවට වඩා මම එතනට යැවුනා. අඬන්න ඕනෙ කියලා හිතුනත් මට ඇඬෙන්නෙ නැති තරම් මොකද්ද දෙයක් මට වෙලා.මන් එයා දිහා බලන් එයා ලඟ හිටගෙන ඉඳලා බැරිම තැන එයාගෙ අත් දෙක අල්ලගත්තෙ තවත් දරාගෙන ඉන්න අමාරු නිසා.

ඇත්ත කවුරුත් මට බැන්නෙ නෑ. ඇත්ත එයා ඇඬුවෙත් නෑ.

"මට සමාවදෙන්න බැරි වැරදි මගෙ අතින් වෙලා නෑ ඔයාට. ඒත් හෙට මගෙ අතින් වෙන්නෙ එහෙම වැරැද්දක් කියල මගෙ හිතට වද දෙනවා.ඒකට මට සමාවෙන්න මහත්තයෝ.මට වෙන කරන්න දෙයක් නෑ"

ඒ එයාගෙ අන්තිම මැසේජ් එක. 

මම එයාගෙ අතෙන් අත ගත්තෙ

"උඹට විතරක් නෙමෙයි මගෙ කෙල්ල අපිටත් නැති වුණා"  

කියලා එයාගෙ අම්මා මගෙ ලඟින් හිටගන්නකොට.

"එතකොට ඊයෙ හවස කැන්ඩි ට්‍රේන් එකට පැනපු කෙල්ල?"

"ඔව්"

"දෙයියනේ"

ඒ එයාගෙ අන්තිම මැසේජ් එක ඇවිල්ලා ව්නාඩි පහ හයකට පස්සෙ.

 "සත්තයි මන් අඬන්නෙ නෑ"

ඔව් එයා ඇඬුවෙ නෑ.එයාට ගානක්වත් තිබුණෙ නෑ.

 `` මයෝ   ``

 "එයා අරලිය මලක් කණේ ගහගෙන ලස්සනද අහයි තව ටිකකින් අරූගෙන්"

වෙනදට වඩා කලින් යන්න වුණ හයර් එකකට මම ගෙදරින් පිටත් වෙනකොට පාන්දර තුනට විතර ඇති.

"හෙලෝ,ගුඩ් මෝර්නින් මල්ලි.එනගමන් අපේ ෆොටෝ ගන්න මල්ලිලා දෙන්නත් ශොප් එක ල‍ඟින් දාගෙන එන්න පුළුවන් නේද?"

වෙඩින් හයර් එකක් කිව්වම කොහොමත් සේරම දාගෙන යන්ඩ හදන්නෙ වෙඩින් කාර් එකේම තමයි.දැන් බඩු සේරමත් පටවෙගන පලයන්කො කියලා හිත හිත වාහනේ එළියට අරන් කියපු තැනට ලන් වුණා ෆොටෝ කාරයො දෙන්නව දාගන්න.

"ගුඩ් මොර්නින් අයියෙ"

"ගුඩ් මෝර්නින් මචන්,නැඟපන්.බඩු ටික ඩිකියෙන් දාමු"

අපි පිටත් වුණා.මනමාලයයි යාළු මනමාලයයි දෙන්නම රජ ඇඳුම් ඇඳගෙන අමාරුවෙන් වාහනේට නැගගත්තා.පත්තර ඔතලා ඔතලා මෙවුන් කොහොම ඉන්නවද දන්නෙ නෑ.අනික හයර් එක කියපු විදියට මූ හවස් වෙනකල්ම මේක ඇඳගෙන ඉඳලා හොටෙල් එකට යද්දි කොහෙන්ද මන්දා ගලවනවා කිව්වෙ හවස.කොහොම හරි සේරම පටවගෙන බර කරත්තයක් කරපු වෙඩින් කාර් එකේ අපි පේරාදෙණියට යන්න පටන් ගද්දි පාන්දර පහට වගේ ඇති.

"මොන මගුලක්ද තවත් කරන්නෙ සැලූන් එකේ.අපි පිටත් වෙලත් ඉවරයි,තව පැයෙන් අපි ඔතන.ඔය තියෙන එකක් පටලගෙන එනවා හයයි තිහ වෙද්දි පාක් එක ලඟට"

මනමාලයා එහෙම කියලා ෆෝන් එක කට් කරේ අපි මාවතගම හරිය පහු කරනකොට.කොහොමත් කසාදෙ දවසෙ උදේට උන්දෙන්න කරන්නෙ රන්ඩු වෙන එක නැකත් වලට දුව දුව.හවසට වෙන්නෙ සල්ලි බේරන එකයි,එන්විලොප් දිග ඇර ඇර මදි පාඩු සල්ලි හොයන එකයි හනිමූන් එකට යන හොටෙල් එකට දානකල්.එහෙම නැත්තන් මනමාලි වමනේ දාන එක වංගුවක් ගන්න ගාණෙ.කතාව ඇහුණත් ඕක පුරුදු නැති එකක් නෙමෙයිනෙ කියලා මම පාඩුවෙ ඩ්‍රයිවර් වැඩේ කරගෙන ඉද්දි ඉස්සරහින් ඉඳගත්ත ෆොටෝ මලයා වෙනම කල්පනාවක.උට උගෙ මනෝ ලෝකෙ ඉන්න වැඩි වෙලාවක් හම්බුණේ නෑ.

"මල්ලි උදේට කාලත් නෑනෙ,අපි මොනවහරි බීලා යන්.තැනක් බලල නවත්තපන්"

මනමාලයා එහෙම කිව්වෙ කලින් කෝල් එකේ විදියට අපි ඉක්මණට ගියා කියලා ඌ බඳින්න යන ගෑණි දැන්ම ෆොටෝ ගහන තැනට එන්නෙ නැති හින්දා මයෙ හිතේ.

අපි තේ එකක් බොන්න නැවැත්තුවා.අරුන් දෙන්න රජ ඇඳුම් ඇඳගෙන බස්සන්ඩ බැරි හින්දා කන්ඩ ගත්ත එව්වයි තේ දෙකයි වාහනේට ගෙනිහින් දීලා ෆොටෝ මලයො දෙන්න එක්ක මම තේ එකක් බිව්වා.

"දුමක් ගහනවද බන්?"

මගෙ අතේ තිබ්බ සිගරට් පැකට් එක උන් දෙන්නට දික් කරපුවම උන් දෙන්නගෙ මූණෙ මල් පිපුණා වගේ.

"ගහමු අයියෙ"

"උඹලා ගොඩක් කල් ඉඳන්ද මේ වැඩේ?"

" ඔව් අයියෙ,දැන් අවුරුදු පහක් විතර"

"මොකෝ තත්වෙ? ලාබද වැඩේ?"

"අවුලක් නෑ ,ශේප් එකේ යනවා"

"හොඳයි හොඳයි"

අපි පේරාදෙණියට එද්දි හයයි හතලිස්පහට ඇති.මනමාලි එනකල් තව පැය බාගයක් විතර ඉන්ඩ වුණා.වාහනේට වෙලා ඉන්න කම්මැලි හින්ද අපි ඇතුලට ගියා.ගිහින් මනමාලයව එක එක පැත්තට හරවලා කට්ටිය ෆොටෝ ගහන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මනමාලි,යාළු මනමාලි එක්ක තව දෙතුන් දෙනෙක් එතන්ට ආවා. දාන්ඩ තියෙන මේකප් සේරම දාලා ගොඩ දාලා තිබ්බත් ඒ වැඩ නැතත් ඒකි ලස්සන ඇති කියලා මට හිතුණා.අහිංසක පාටට හිටිය වැඩිය දැඟලිල්ලක් නැතුව සාරියේ කෑල්ලකුත් උඩට උස්සගෙන. 

ෆොටෝ මල්ලි එයාට ලස්සන ඈන්ගල් එන විදියට දෙතුන් දෙනාව කරක කරක ෆොටෝ ගහනකොට තමයි මම දැක්කෙ මනමාලිගෙ පිටේ ලස්සන ටැටූ එකක් ගහලා තිබ්බා.ගහපු එකේ පෙන්නන්ඩත් ඕනෙ හින්දා වෙන්ඩ ඇති කොන්ද කවර් නොකරපු ජැකට් එකක් ඇඳලා හිටියෙ.මුලින් දකිද්දි තිබ්බ අහින්සක ,ලස්සන මනමාලි කියන සීන් එකෙන් මාව පොඩ්ඩක් විතැන් වෙලා ආතල් එකක් ගන්න චරිතයක්දත් මන්දා වගේ එකක් හිතට එනකොටම

"ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා"

කියලා මතක් වුණ හින්දා මන් අහින්සක මනමාලි එතනම තියලා අර අම්බලමක් වගේ හදලා තිබ්බ එකේ කපල් එකක් රණ්ඩු වෙන දිහාට ඇස් දෙක හැරෙව්වා.

මනමාලී එතන්ට ආව වෙලාවට වඩා සෑහෙන වෙනසක් ටික වෙලාවක් ෆොටෝ ගහගෙන යනකොට මට පේන්න ගත්තා.ෆොටෝ මල්ලි එයාව අල්ලලා කරලා එහෙට මෙහෙට හරවලා ඇඳුම් හද හද ෆොටෝ ගද්දි ලැජ්ජාවටද කියලත් හිතුණා.

කලබලෙන් දුවන් ආව මනමාලි දැන් හරිම සංවර විදියට ෆොටෝ වලට ඉන්නවා. ෆොටෝ ටික ගහනකල් ෆොටෝ මල්ලි දිහා ඇස් පිය නොගහා බලන් ඉන්නවා.මනමාලයා දිහා හොරෙන් බලලා අහක බලනකොටම කැමරාවට ඇහැ යොමනවා.ඇත්තටම ඒක මඟුල් සක්වලක් කරන්න ෆොටෝ මල්ලිට ගියෙ පොඩි වෙලාවයි.

ගොඩක් දුරට ෆොටෝ ගහන මල්ලිලා මනමාලි එක්ක හිතවත් වෙන කසාද සෑහෙන්ඩ දැකලා තියෙන හින්ද මම හිතාගත්තා ෆොටෝ මලයා දෙකට ගණින්න බෑ වගේ හිටියට හොඳ වැඩකාරයෙක් කියලා. ආයෙ ඒකෙ හිතන්න දෙයක් නෑ.මේ විනාඩි දෙකතුනට කොල්ල මනමාලිව ගොඩ දැම්මා එහෙනම්.මනමාලයාට මේ වෙන සිද්දිය ගාණක්වත් නෑ.එන්ඩ කිව්වම එනවා.ෆොටෝ ටිකට ඉන්නවා.ආයෙම ඌ උගෙ වැඩ.

ඔය අතරේ ලයිට් අල්ලන්ඩ ආව අනිත් ෆොටෝ මල්ලි මන් ඉඳගෙන හිටිය තැනට දුවගෙන ආවෙ තව කැමරාවක් අරන් යන්න.

"මල්ලිගෙ බොසා හොඳ වැඩකාරයෙක් වගේ නෙහ්?"

කියලා මන් කිව්වටත් වඩා කියවුණා වගේ.

"ඔව් අයියෙ.පට්ට ඇහැක් තියෙන්නෙ"

"ඒක තමා,මට හිතුණා බලන් ඉද්දි"

කියලා හිනාවක් දැම්මෙ ඊට වඩා දෙයක් ඌ එක්ක කතාකරලා තේරුමක් නෑ කියලා හිතුණ හින්දා.

මට හිතුණෙම මේක ප්‍රපෝසල් එකක් වෙන්ඩ ඇති.ඒත් මට සැකම මේ ටැටූ එක.මේකිට විසේ නැත්තෙමත් නෑ.හැබැයි හංගන් ඉන්නෙ.මටත් වෙන වැඩක් නෑනෙ ඉතින්.අනික මන් හිතන එක කාටවත් පේනවා ඇහෙනවා කියලද.

ෆොටෝ වැඩ ටික ඉවර වෙලා අපිට ආයෙම යන්න තිබ්බෙ නුවර කිට්ටුව හොටෙල් එකකට.පැය දෙකක් විතර එක දිගට ෆොටෝ අරන් කට්ටිය තැන් තැන් වල ඉඳගත්තා. කපල් එක බංකුවකට බර දෙනකොට මම ටිකක් කිට්ටුව තිබුණ ලොකු ගහක මුලක් උඩ ඉඳගෙන මේ වෙන දේවල් දිහා බලන් හිටියා.

ටික වෙලාවකින් ෆොටෝ මල්ලි මගෙ ලඟට ආවෙ උගෙ කැමරාවත් අරගෙන.ඇවිත් ඌ කැමරාවේ පොඩි ස්ක්‍රීන් එක දිහයි කපල් එක දිහයි බල බල බර කල්පනාවක.මන් නිකමට ඌ දිහා බලද්දි උගෙ ඇස් ටිකක් රතුවෙලා.හරියට අඬන්න ඕනෙ වුණත් අඬන්න විදියක් නෑ වගේ.දුවාගන්න ඕනෙ වුණත් කකුල් දෙක පණ නෑ වගෙ.

"පට්ට කෑල්ල නේද බන්?"

"හ්ම්ම්"

"හැබැයි පාක් එකනම් සෑහෙන්න පුරුදුයි වගේ කෙල්ලට"

ස්ක්‍රීන් එකට මූණ දාද්දි ඌ බල බල හිටිය මනමාලිගෙ ෆොටෝ එක දිහාබලලා මන් එහෙම කිව්වම ඌ මන් දිහ බැලුවෙ මේ ලෝකෙම නැති වෙච්ච එකෙක් වගේ.වෙන්නෙ මොකක්ද හිතාගන්න බැරුව මම උගෙ ඇස් දෙකෙන් ඇස් අහකට අරන් ඉස්සරහා බලාගත්තෙ ඌ අඬයි කියලා බයට වගේ.

"මනමාලිට පාක් එක විතරක් නෙමෙයි අයියෙ,ඔය බංකුවත් පුරුදුයි"

" ඒ මොකද බන් ඒ?"

"එයා අරලිය මලක් කණේ ගහගෙන ලස්සනද අහයි තව ටිකකින් අරූගෙන්"

ඌ එහෙම කියද්දි මට ආයෙම ඌ දිහා බැලවුණා.වෙන්නෙ මොකක් වුණත් ආයෙ මට කියන්න දෙයක් මෙතන ඉතුරු වෙලා නෑ කියලා මට හිතුණේ එතකොට.උගෙ ඇස් දෙකේ එල්ලිලා ඉඳලා ඉඳලා බැරිම තැනද කොහෙද කදුළු බින්දු දෙක තුනක් කැමරාව උඩට වැටුණා.මන් කපල් එක ඉඳන් හිටිය බන්කුව දිහා නිකමට බලද්දි ඒකි චූටි අරලිය මලක් අහුලන් කණේ ගහගෙන ඉස්සරහ පිට්ටනිය දිහා බලන් ඉන්නවා.

"බංකුව විතරක් නෙමෙයි අයියෙ ඒකිට මාවත් පුරුදුයි.පුරුදු නෑ වගේ හිටියට"

~~  මයෝ  ~~

ඔරුකඳට තරවටු එපා

 හතු පිපී තිබුණා සබඳ ඔරු කඳ වසා

නෙතු පියන් සැලුණා දිලෙන කදුළක් නිසා

හිත් සැලී තිබුණා පිපුණු කුසුමක් නිසා

ඔරු කඳත් හැඬුවා ගඟුල දුර වැඩි නිසා


නෙලාගන්නට බැරි තරම් දුර

කුසුම් පෙති දිදුලණු එපා

කියාගන්නට නොහැකි තැන් වල

හැඟුම් පොදි සසැලෙණු එපා

දරාගන්නට බැරි තරම් බර

සුසුම් කැටි ඉපිලෙණු එපා

නොයා ඉන්නට නොහැකි තරමට

සිතුම් වැල් හිනැහෙන්නෙපා


රැලිති පරයන්නට තරම් වෙර

හබල් පෙති අයදිනු එපා

නමුණුකුල අහසට වඩා බර

සෝ සුසුම් තෙපලණු එපා

නිමාවෙන්නැති කතාවක මුල

හිනාවක් ඉකිලනු එපා

පෙළින් පෙළ මියැදෙන රළින් රළ

ඔරුකඳට තරවටු එපා

නුඹත් ඇති මඟ බලාගෙන සඳ

 නුඹත් ඇති මඟ බලාගෙන සඳ

ඇවිත් යන්නට එයි කියා

මමත් මේ මඟ බලන් ඉන්නේ 

සබඳ තරු සඳ එයි කියා

නෑවිඳින්නම් ඉන්නෙපා


පුරා අවපස නුරා යහනට

කවට කෙළි මුමුණන තුරා

දරාගෙන ඇති නිනව් නොතියම

සිහිලසෙන් උණුහුම් වෙලා

පියාගෙන නෙතු මුවින් සිපගෙන

කවිපොතේ පිටුවක් පුරා

ලියාගෙන ඇති හැඟුම් අහසක

ගිඟුම් දෙන හුස්මක් තියා


සරා සඳ නුඹ කවුළු දොරකඩ

ඉඳන් හිනැහෙනවද බලා

මවාගෙන ඇති නිමක් නැතිවම

හීන වල හිස්තැන් තියා

බලාගෙන නොමියෙන අහස්කුස

හීන්සැරයෙන් කොඳුරලා

අහනවා ඇති සබඳ නුඹ තව

පමා වෙන්නේ ඇයි කියා

~~ මයෝ  ~~

නුරා අහසම හීනයක්

උබත් එක බිතු සිතුවමක්

කදුළු කියවන්නට වරම් නැති

හුඟක් බර හැඩ පිළිමයක්

නෙලන්නට අදටත් නිනව් නැති

හිතක් නැති තව හීනයක්

හැබෑවෙන පෙරුමන් පුරන්නැති

නිමක් නැති මහ ප්‍රේමයක්

දරාගෙන සුසුමක් හෙලන්නැති


මධු තුලාවක රස සුයාමෙක

මියුරු තෙපලන මානයක්

වීදියක කෙළවර පහන් වල

ඉකිබිඳින ඉම ස්නේහයක්

දිනක හමුවන විටෙක මැළැවෙන

මඟ වසාගත් ප්‍රේමයක්

මටත් හිමි නැති උබත් ලඟ නැති

මීවිතක තොල් සායමක්


ලියා කියවන ගොඩක් කවි වල

කියවුනේ නෑ ප්‍රේමයක්

හෙලාගෙන ගිය සුසුම් රැලි වල

හීන් අම මධු පානයක්

ගිගිරි සෙලවෙන කැකුළු මල් වල

කොයින් මනබැඳි තානමක්

උනා විසි කල දුහුල් සළු වල

නුරා අහසම හීනයක්

 ආර්ථික වශයෙන් ස්ථාවර පවුලකින් පැවතිලා මොනයම් හෝ හේතුවක් මත ආර්ථික වශයෙන් අන්තයටම පිරිහෙන දිහා කරකියාගන්නට දෙයක් නැතිව බලාගෙන ඉඳලා ආයෙත් ආර්ථික වශයෙන් ස්ථාවර වෙන එකයි, ආර්ථික වශයෙන් අස්ථාවර පවුලකින් පටන් අරන් ස්ථාවර වෙන එකයි දෙකක්. මේකෙදි දෙවනි එක පටන් ගන්න මොරාල් එකක් ගන්න එක ලේසියි. ඒකට පාවිච්චි කරන්න පුළුවන් සාධක සුලභයි.හොනට් බයික් එකක්, කාර් එකක්, තට්ටු දෙකක තුනක ගෙයක්, ලස්සනට ඇඳගෙන ඉස්තරම් යැයි සම්මත තැන් වල ඇවිදින,කනබොන තමන්ගෙ වයසෙම කෙනෙක් සරල උදාහරණ.පළවෙනි එක එහම මොරාල් වෙන්න ටිකක් අදිමදි වෙන්න ඉඩ වැඩියි. ඒ නිසා සාපේක්ශව ඒ වැඩේ පොඩ්ඩක් දුලබයි.

කොහොමහරි ඔය දෙවිදියටම පටන් අරන් ගොඩ ගිය මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. පටන් ගත්තට පස්සේ ඒ දෙකම එකම මට්ටමේ ගේම් දෙකක්. අපිට ලැජ්ජාව පැත්තකින් තියන්න වෙනවා,අපිට මහන්සි වෙන්ඩ වෙනවා,අපිට මුල ඉඳන් දේවල් ගොඩ නගාගන්ඩ වෙනවා,අපිට අලුතෙන් හිතන්න වෙනවා,අපිට පරදින්ඩ වෙනවා,පරදින තැන් වලදි අල්ලගෙන අමාරුවෙන් හරි ඇදගෙන යන්ඩ වෙනවා,අනිත් උන් අපිව ඉස්සර කරන් යන දිහා කානුවක මුල්ලකට වෙලා, පේමන්ට් එකක් අයිනකට වෙලා ටයර් එකකින් විසිවෙන මඩවතුර පාරක් කාගෙන බලන් ඉවසන්න වෙනවා,මඩ පිහාගෙන ආයෙත් ඇවිදින්ඩ වෙනවා, සමහරු ඕකට පිස්සු කියද්දි ,ඕකට පුලුවන්ද බන් ඕක කරන්ඩ කියනකොට දරාගන්ඩ වෙනවා,අතේ කරගැට,දාඩිය ටික,තුවාල ටික අමතක කරන්ඩ වෙනවා, ජීවිතේට නවපු නැති කොඳු, බෙලි අසික්කිත නෑදෑයො,අහල පහළ එවුන් ඉස්සරහා නවන්ඩ වෙනවා.ඒවා දරාගන්න එකම ගේමක්.ටිකක් ලොකු ගේමක්.

මේ සේරමත් එක්ක පස්සෙන් එන පවුලක වගකීමක් කරට ගන්ඩ වෙනවා.එහෙම වෙද්දි බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන ටවුමෙ ඇවිඳින ගොඩක් එවුන්ට ශෝටක් ගහගෙන කොටුවෙ බඩු පෙට්ටියක් කරගහගෙන එන එක ගේමක් නැති වෙනවා,මහ රෑ වෙනකල් වැඩ කරලා තවත් ටිකක් වැඩ කරන එක ගේමක් නැති වෙනවා,එක එකාගෙ නෙගටිව් අදාල නැති වෙනවා,මහන්සිද බන් අහන්ඩ එකෙක්වත් නැති වෙද්දි "මහන්සියි බන් ,ඒත් ගේම ගහමු" කියලා සිගරට් එකකට කියල නාට්ටාමි එක්ක කයියක් ගහගෙන බඩු පෙට්ටි ටිකක් කරගහගෙන තමන්ගෙ වයසෙ එවුන් ඉස්කෝලෙ ඇරිල එන ටවුමේ දවල් එකහමාරට යන එක ගේමක් නැති වෙනවා,ගන්න ආසාවෙන් ඉඳලා මැරිල මැරිලා එකතු කරලා ගත්ත බයික් එක ගේ හදාගන්ඩ සල්ලි මදි වෙද්දි තඹේකට මායිම් නොකර විකුණලා දාන්ඩ ගැම්මක් එනවා,අම්මා තාත්තා පුළුවන් උපරිමෙන් රැකලා මැරුණ දවසට වටේ එවුන්ට පේන්ඩ අඬන්නෙ නැතුව ඉන්ඩ පට්ට හයියක් එනවා,අම්මා තාත්තා මැරිලත් අඬන්නෙ නැති එකා ගැන ආයේ මොනවා කතාකරන්ඩද කියලා කසුකුසු යද්දි හිනායනවා,මොකෙක්වත් නැති සහෝදරයො එක්ක රුපියල් දාහක් දෙදාහක් එක්ක තනි වුණත් ගේම අතාරින්නෙ නෑ කියලා උන්ගෙ වගකීම් සේරම කරලා ඉවරයක් කරන්ඩ තරම් මොරාල් එකක් එනවා. 

එහෙම ඉවරයක් කරපු මිනිස්සු  මේ ලෝකෙ සෑහෙන්ඩ ඉන්නවා. උන්ට ආතල් ගන්ඩ වෙලාවක් තිබිලා නෑ.උන් උන්ගෙ තැනට ඇවිත් ආතල් ගන්ඩ පටන් ගන්නකොට වටේ නිකන් උඩ බලන් හිටිය එවුන්ට දරාගන්න ටිකක් අමාරු වෙන එක සරලයි. හදපු ගෙදරක, ගත්ත වාහනෙක,ගොඩනඟපු බිස්නස් එකක තිබ්බ කට්ට පිට උන් දන්නෙ නෑ,ඒක දන්නෙ කාපු එකා.කවුරු කොහොම කිව්වත් ඒ ගොඩ නඟපු ටික තව ඉස්සරහට යවන්ඩ ඕනෙ, රැකගන්ඩ ඕනෙ කියන එක එන්ඩ ඕනෙ බොක්කෙන්.ඒවා උගන්නන්ඩ පුරුදු කරන්ඩ පුලුවන් එව්වා නෙමෙයි.දිලිසෙන වීදුරු ගහලා ඒසී කරපු කාමර යට ගල් බැමි වල ගල් අදිද්දි ආව කරගැට වල වේදනාව දන්නෙ ගල් ඇදපු එකා.ඒ හින්දා ඌට වීදුරුවක මඬ ටිකක් ගෑවුණත් හෝදන්ඩ හිතෙනවා.එහෙම නැති එවුන් වීදුරුවට බුලත් කෙල ටිකකුත් ගහලා තව හිනත් වෙනවා.

ගොඩ යන එක ගේමක්.අවසානේට ගොඩ දාන්නේ ලක්ශෙක ලාබයක්ද,මිලියනයක ලාබයක්ද,කෝටියක ලාබයක්ද නැත්තන් කෝටි ගානක ලාබයක්ද කියන එකට වඩා පටන් ගත්ත තැන කොහොමද දැන් කොහොමද කියන එකයි වැදගත්.පයින් ගිය එකා බයික් එකක යන එක ගේමක්, බයික් එකේ ගිය එකා කාර් එකක යන එක ගේමක්.ඒ වගේම කාර් එකේ යන එකා පයින් යන එකත් ගේමක්.අත්වල කරගැට පොකුරු එක්ක ගොඩ ගිය ගොඩක් එවුන්ට අනිත් උන් අදාල නෑ.ඒකට ගොඩක් එවුන් කියන්නෙ ලොකුකම කියලා.ඇත්තටම ඒක ලොකුකමනම් මටනම් හිතෙන්නෙ ඒ ලොකුකම පට්ට සැප ඇති.

~~ මයෝ ~~

දර ලිප අහක බලපන් උඹ පොඩ්ඩකට

 දර ලිප අහක බලපන් උඹ පොඩ්ඩකට

අම්මට පිහින්නට දැලි ටික ඉක්මණට

ඉරගල වැටෙනකොට යායට කුස්සියට

කඳුළු වහන්නේ කොහොමද පැටවුන්ට


විරසක වෙලා ගිය අප්පච්චිට බැනලා

උන්දෑ අඬන්නෙම සෙත් කවියක් කියලා

දොල ලඟ කනත්තේ වල් ටික උගුලවලා

අපිටත් කියන්නෙම වැඳපන් දණ තියලා


කරුමෙක මහත අප්පච්චිට පෙනෙන්නැතී

නියරට මඬට අම්මට හුරු කරන්නැතී

හීයට දෙහීයට පෑගී නිමක් නැතී

කම්බායකට අපේ අම්මා නැහෙන්නැතී