Saturday, January 11, 2020

රාධා

හිමාලය මන් දැකලා නෑ. හිමාලය ලස්සන ඇති. හිමාලයෙන් පටන් අරන් ගලාගෙන යන ගගක් අයිනෙ සිද්දවෙන ප්‍රේම සම්බෝගයක්, එහෙමත් නැත්නම් ආදර හිතුවිලි එක්ක මුහු වෙච්ච සුන්දර ශාරීරික ගණුදෙනුවක රූපරාමු ඇස් ඉස්සරහ මවන පද පේළි ටිකක් හරි අපූරුවට ධම්මික බණ්ඩාරයන් ලියලා අමරසිරි පීරිස් ලයාන්විතයා එක්ක වසන්තා තිලකාංගනී ගායනා කරනවා. ඩැනිස්ටර් පෙරේරා වචන ටිකට දෙවනි නොවෙන්න ස්වර පුවරුව එහෙ මෙහෙ කරලා දෙනකොට හිමාලයේ යමුනා ගග අද්දර ඇලවෙන්න වෙන මොනවත් මොකටද.

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...


" හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා "

 හිම දියවෙනවනම් ඒ සීත කාලේ ඉවර වෙලා වසන්ත කාලේ පටන් ගන්න යනවා වෙන්න ඕනෙ. ඔව් දියවෙච්ච හිම ටික යමුනා ගගට එකතු වෙලා හෙමින් හෙමින් පහළට ඇදෙනවා. කාලයක් තිස්සේ අමනාප වෙලා හිටිය පෙම්වතුන් දෙදෙනෙක් ප්‍රේමාලිංගනයකට සූදානම් වෙනවා. ඔව්. ඒ රාධා හා ක්‍රිෂ්ණ. ක්‍රිෂ්ණ බටලීයෙන් වහන් කරගත්ත රාධා එක්ක මහා ලොකු ප්‍රේමකතාවක් ගොඩනගන්න බලාපොරොත්තුවක් තිබ්බ පාටක් පේන්න නැති වුණත් රාධා ඒ වෙනුවෙන් වෙහෙසුන බව පසක් වෙන තැන් කොතෙකුත් හමුවෙනවා ගීත ගෝවින්දෙ එහෙන් මෙහෙන් හරි පෙරළෙනකොට.

යමුනා ගග අද්දර ගලක් උඩට වෙලා ඉඳගෙන බටලී වාදනය කරනකොට ඒ බටලී හඬට වශී වෙන්නෙ රාධා විතරයි කියලා විශ්වාස කළ යුතුද? බටලී හඬ අහගෙන ගග අද්දරට එන්න හුරු වෙන රාධා එක්ක ඇතිවෙන ලිංගික බැඳීම ආදරයක් වුණා හෝ නොවුනා එය අති සුන්දර අත්දැකීම් සමුදායක් එක්ක විමසා විඳින්න දේවල් ඉතුරු කරනවා, හරියට ඉස්කෝලේ කාලේ පන්තියේ එකට හිටිය එකියකට නොකියපු ප්‍රේමයක් වගෙ, එහෙම නැත්තන් ඉස්කෝලේ ගුරුවරියක් වෙනුවෙන් පහ හය වසරෙදි ඇතිවන ආදර හැඟීමක් වගේ,එහෙමත් නැත්තන් උදේ හවස නොදැක්කත් ස්වයන් වින්දන මාත්‍රාවකට උදව් දෙන එකියක් එක්ක හිතෙන් සිද්ධවෙච්ච යහන්ගතවීමක් වගේ. රාධා ඇවිත් යනකොට තව ගැටිස්සියො ක්‍රිෂ්ණ වෙනුවෙන් ඔය ගං ඉවුරට ආවා කියලා ආරන්චි වුණාම රාධා තීරණය කරනවා ක්‍රිෂ්ණගේ ඇසුරෙන්  මිදිලා යන්න.

එහෙම රාධා යනකොට ගං ඉවුරට එන අනිත් ගැටිස්සියන්ටත් රාධාට ලැබෙණ සුව පහස දෙනකොට එතන ආදරයක් තියෙනවා කියන එක පිලිගන්න අවසර තියෙනවද කියන එක ප්‍රශ්ණාර්ථයක්. මේ ගීතය එක්ක විඳින්න තියෙන ලස්සන අවස්ථාව උදාවෙන්නේ ක්‍රිෂ්ණා කාලෙකට පස්සෙ ආයෙත් රාධා එක්ක හාද වෙන්න තීරණය කරන ඇසිල්ලෙන්.ආදර කථාවක අති සුන්දරම තැනක් අහුවොත් මතක් වෙන්නෙම අමනාපවීමකින් අඬ දබරයකින් පසුව එලඹෙන මොහොතක්. මේ කථාකරන්නෙත් එහෙම කාලයක් පහු වෙලා එදා බටලී හඬ හොයාගෙන ඇවිත් ගතකරපු සුන්දර හෝරා අනන්තයකට වඩා උමතුවෙන් ක්‍රිෂ්ණා තමන්ගේ පෙම්වතිය විඳින මොහොතක්. 

එහෙම මොහොතක දැනෙන සීතල එක්ක තුරුල් වෙනකොට ක්‍රිෂ්ණා අහනවා සුදු පෙණ නගාගෙන යමුනාව ගලන හැටි ඔයාට පේනවද කියලා. එහම් අහනකොට රාධා දෙන උත්තරේ තියෙන්නෙම කාලයක් ඈතට වෙලා හිටියත් මට උඹ නැතුව උඹේ පහස නැතුව බෑ කියල නොකියා කියන ස්වරූපයක්. ඒකයි රාධා කියන්නේ සුළඟ හමනකොට මහා හීතලක් මට දැනෙනවා ක්‍රිෂ්ණා. ඒ හීතලත් එක්ක එදා වගේම අදත් අපේ ගත උණුහුම් වෙයිද, ඒ උණුහුමෙන් අපේ හිත් ගිනි ගනීද කියලා මට හිතෙනවා. ගඟක් අද්දර මල් යහනක ප්‍රේමවන්තයාට තුරුල් වෙලා ඉන්න ප්‍රේමවන්තියක් වෙන මොනවනම් කියන්නද මෙහෙම අහන්නෙ නැතුව.

" සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා.."

හිනාවෙන් සතුටින් ඉපිළිලා තියෙන උබේ මේ හදවතේ සතුට මට තුරුල් වෙලා ඉන්න උබේ පපුව ගැහෙන රිද්මෙන් මට දැනෙනවා රාධා. එහෙම සතුටෙන් ආසාවෙන් ඉපිළිලා මගේ පහස හොයන උබේ පයෝධර මෙච්චර අකීකරු වෙලා ඇයි කියලා අහනකොට ලැජ්ජාවකුත් හිතෙන්න ඇති උඹට. ඒත් මට උබෙන් ඒක් දැනගන්නම ඕනෙ. හිනාවෙන් පිරිලා ඉතිරිලා ගිය සරාගී උබේ පයෝධර උඹටවත් කීකරු වෙන්නේ නැතිද රාධා? එහෙමනම් මන් මොකද කරන්න ඕනේ කියලා අහලා උබෙන් මන් අවසර ගන්නවද මන්දා. උඹ අවසර දෙයි කියලම හිතෙන හින්දා. 

"ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා.."

අකීකරුනම් දඩුවම් කරනවා ඇරෙන්න මොනවා කරන්නද ක්‍රිෂ්ණා. උබ කැමති දඬුවමක් දෙනකල් මන් මගෙ ඇස් පියාගෙන ඉන්නම්. අකීකරු ලැමට මූණ ඔබාගත්ත ක්‍රිෂ්ණා දෙන ඕනම දඬුවමක් විඳින්න ඇස් පියාගත්ත රාධාට ආයෙ ඇස් අරින්න හිතෙයි කියලා මට හිතෙන්නෙ නැත්තෙ ක්‍රිෂ්ණා කියන්නෙ කෝඩුකාරයෙක් කියලා පිළිගන්න සූදානමක් මගෙ හිතේ නැති හින්දා.

මල් පෙති පොඩි වෙලා ඉකිලන්න තරම් මේ ප්‍රේමවන්තයෝ ප්‍රේමාලිංගනයේ නොයෙදෙන්න හේතුවක් නැති කොට සඳ එළිය මිණිමෙවුලට වැටුන එක ක්‍රිෂ්ණා දකින්න නම්, ඒ එළියෙන් දෑස නිලන්කාර වෙන්නනම් පයෝධර පහස ලබපු ක්‍රිෂ්ණා මේ හෝපළු යහනේ ඉඳගෙන වෙන මොනවා කරන්නද

"මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා.."

 රාධා මිණිමෙවුල පළඳින්න ඇත්තෙත් හැම ගැටිස්සියක්ම පළඳින තැනම විය යුතුම කොට ගිලිහී යන මිණි කැට ගැන රාධා මොකට හිතන්නද. ඒකයි රාධා 

"ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."

කියලා ඇස් දෙක පියාගෙනම ඉන්න ඇත්තෙ, ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි සුයාමයට ඉඩදීලා.




Friday, January 10, 2020

උන්දැ මග බලන්නැති හින්දා !!!

බණක් අහන්නට උන්දැට එන්නට මුන්දැලා දෙන්නැති හින්දා
උන්දැගෙ වගතුග අවසරටත් දැන් අමතක වෙලාද මන්දා
ඉස්සර පන්සල් එනකොට උන්දෑ කරඹ ගෙනත් දෙන හින්දා
බුදු කුටියට යන එන ගානෙම මම උන්දැගෙ වෙනුවට වැන්දා

මුන්දැලා දෙන්නා තුන් දෙනෙක්ලු දැන් වෙහෙරත් හදවන හින්දා
පන්සල් යන එන ගානෙම අවසර පිරිත් නූල්නම් බැන්දා
නූලක් බැන්දට සිල් පදයක්නම් මුන්දැලා කිව්වද මන්දා
අවසර කිව්වේ ආවසෙත් මුන් දෙන්නම හදයිද මන්දා

ගඩොල් බිත්ති කණු මෙච්චර ලොකුවට බුදුන්ට ඕනෙද මන්දා
අටපිරිකර කාමරයක් පිරෙන්න මොකට ගෙනාවද මන්දා
උන්දැට පෝයට සිල් අරගන්නට උතුරු සළුව ඇති හින්දා
ඊලඟ පෝයට උන්දැව එක්කන් එන්න බැරි වෙයිද මන්දා

සසරෙන් එතෙරට තනියම යන්නට මට හිත දෙන්නැති හින්දා
උන්දැත් තනියට එක්කන් යන්නට අවසර තියෙයිද මන්දා
වෙහෙරයි ආවාසෙයි අපෙ ගෙදරයි හිලව්වකට ඇති හින්දා
ඊලඟ පෝයට එක්කන් එනවද ඔන්න මන් උඹට වැන්දා

මාත් එක්ක මුළු පිරිත් පොතම හරි හරියට කියවන හින්දා
ඉස්සර වාගෙම අදත් මතක ඇති පිරිත් පොතට මන් වැන්දා
අවසරටත් අමතක තැන් උන්දෑ කොහොම කියනවද මන්දා
අවසර දීපන් පන්සල් එන්නට උන්දැ නිවන් යන හින්දා

Wednesday, January 1, 2020

නුවර මැණිකේ !!!


මහළු මඩමෙදි මට කියපු කවි - එදා උබ පුතුටත් කියන්නැති
කවි අහන් උබටත් හොරෙන් පුතු - ගුලි වෙලා හෙමිහිට නිදන්නැති
වලව්වේ උබෙ තිබුණා කියවුන - පඩික්කම දැන් විකුණලත් ඇති
පඩික්කම විකුණලා ලේලිට - රතු පලස් පාවඩ ගේන්නැති

වලව්වේ අලි පැටියනම් දැන් - මහා සද්දන්තත් වෙලා ඇති
නුවර පැත්තේ ගියත් දැන්නම් - ඌට උබ මතකවත් නැතුවැති
එහෙම කිව්වට ඌට මතකයි කියලා - උබ තව හිතාගෙන ඇති
ගාම්බීරලු උබෙ පුතා දැන් - ඌව මිදුලේ ගහක බැදලැති

පුතා ඇවිදින් ගියා කිව්වනෙ - බරට තෑගිත් ගෙනල්ලත් ඇති
හූල්ලන්නට දෙයක් කිව්වද - උබ හිතින් මට බනිනවත් ඇති
උබව දැක්කම එක්ක යන්නට - පුතුට නිකමට හිතෙනවත් ඇති
උබත් කිව්වෙ එහෙමමයි පුතුටත් - කරන්නට දෙයක් නැතුවැති

වලව්වේ මැණිකේ නිසා උබ - සාරියක් නැතුවම බැරුව ඇති
ඒත් මොනවා කරන්නද - අම්මේ මේක උබෙ කරුමෙ වෙන්නැති
චීත්තෙට තවමත් හැඩයි උබ - සාරියට තව හැඩට ඉන්නැති
ගිහින් එන්නම් මාත් අම්මේ - මගෙ පුතා මග බලාගෙන ඇති

Tuesday, December 31, 2019

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ !!!


ගුණදාස කපුගේ ගයන රහ හරි අමුතුවට මට දැණුනා. ඉන් එක සින්දුවක් තමා "රුවක් ඇදෙනවා ". එතනින් ගියාම "උතුරු කොනේ නුඹ හිනැහෙන් ". නිදහසක් හම්බ වෙන හැම වෙලාවකම මට හිතෙන විදියට සින්දු අහන්න , ඒ ගැන හිතන්න තියෙන ආසාව හින්දා අහම්බෙන් වගේ ඇහුණ එක සින්දුවක් ගැන ඔහේ කල්පනාවකට වැටෙන්න පොඩි වෙලාවක් හම්බවුණා. එතන එක පාරටම මට දැනුණා තමන්ගෙ පෙම්වතිය වෙන එකෙක් කසාද බැදගන්න යනකොට ඊට කලින් දවසෙ ඒ කෙල්ල හම්බෙන්න ගිය වෙලාවක විවරණයක් මේ කියලා. ගොඩක් තැන් වල මන් එහෙම කියවලත් තියෙන හින්දා වෙන්න ඇති.සමහරවිට ගේය පද රචකයා ලිව්වෙත් ඒක වෙන්න ඇති. ඒ වුණත් මට මොකෝ. අහන්නෙ මමනම් විදින්නෙ මමනම් එක එකාට ඕනෙ විදියට මොකට අහන්නද. විදින්නද. මට ආස හිතුණා මේ විදියට අහගෙන ඉන්න.

" නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ "

මට ආදරවන්තියක් හිටියා.මීට ගොඩක් කාලෙකට ඉස්සර.ලස්සනයි.හුරුබුහුටුයි. අපි ආදරේ කරන්න පටන් අරන් ගොඩක් කාලයක්.ඒ කෙල්ලට කන්න අදින්න දෙන්නවත් මගෙ අතේ සතයක් නැති වුණත් ගෙවල්වල අකමැත්ත හින්දම අපිට සිද්ධ වුණා හොරෙන් පැනලා එන්න. මගෙ ඉස්සරහ ඉදගෙන එහෙම තමන්ගෙ ආදර කථාව කියන ප්‍රේමවන්තයෙක් මගෙ ඉස්සරහ මැවුණා. මම ඒ කථාව අහන්න පටන් ගත්තා. 

" නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ "

නින්දක් පේන තෙක්මානෙක නැති රැයක්. සද මගෙ ලගට තුරුල් වෙලා අඩන්න පටන් අරන්.ඔව් ඒ ඔවුන් දෙන්නගෙම ප්‍රථම ප්‍රේමය.හෙට උදේ වෙන මිනිහෙක් කසාද බදින්න යන ගෑණියෙක් අද රෑ ඇවිත් තමන් දාලා යන පෙම්වතා එක්ක අඩ අඩ නිදිමරයි කියලා විස්වාස කරන්න මට හිත දෙන්නෙ නෑ. හැබැයි මෙතන ප්‍රේමවන්තියක් අඩනවා.ඔව් ඒ ඔහුගෙ කලින් පෙම්වතිය.දැන් බිරිද.ඉස්සර වගේම අදත් ඔහුට තමන්ගෙ ආදරවන්තිය හදක්. ඒ හද ඔහුගෙ තුරුලට වෙලා මේ රාත්‍රියේ කදුළු මීදුමකට වහන් වෙලා හොරෙන් අඩන්න අරන්.තාරකා දියේ ගිලිලා කියන්නෙ ඇස් දෙක කදුළු වලින් තෙත් වෙලා කියන එක මිසක් වෙන මොකක්ද.ඒ කදුළු වලට පින් සිද්ධ වෙන්න ඇගේ නිල්වන් ඇස් බොද වෙලා. නිල් පාට මැකිලා ගිහින්.කොටින්ම නිල් එළිය නිවිලා ගිහින්.වතුර වැටෙනකොට කොච්චර ලස්සන වුණත් රෝස පෙති කඩන් වැටෙනවා. ඔහුගේ සුන්දර ප්‍රේමවන්තියගෙ රෝස කම්මුල් දෙක කදුළු වලින් නෑවිලා කඩාගෙන වැටිලා. 

උදේ පාන්දර ඔහු යනවා ඇති කළුගල් කඩන්න.එහෙම නැත්තන් මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න.එහෙමත් නැත්තන් මොකක්හරි කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගන්න.ආදරේ කරන කාලේ වගේ නෙමෙයි.ගෙදරට හොරෙන් පැනලා ඇවිත් අද තනියම ජිවිත සටනට මූණදෙන්න වෙලා මේ ප්‍රේමවන්තයින්ට. ඒක හිතන තරම් සුන්දර නැතුව ඇති.උදේ පන්දර ගිහින් රෑට රෑ වෙලා ගෙදර ආව මනුස්සයාගෙ උරහිසේ ඔළුව තියාගෙන නිදි පැදුරට වෙලා අඩන්න ඒ හදට සිද්ධ වුණේ ඒකයි.

"කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ  "

සීතලට කිළිපොලන ගත උණුහුම් කරන්න තියෙන එකම විදිය උඹව තුරුල් කරගන්න එක විතරයි මගෙ මැණිකෙ කියලා ඇස් දෙක පියාගෙන උබේ උණුහුමේ තුරුල් වුණා.මේක හීනයක් වගේ.උඹේ උණුහුමට වෙලා හුරතල් වෙවී ඉන්න මවපු හීන මහ ගොඩක් ඉස්සර තිබුණා.හැබැයි අද ඒ හීන වලට සමුදීලා ජිවිත සටනට මූණ දෙන්න කෙසේවෙතත් උඹටයි මටයි කන්න හාල් කිලෝ එකයි පරිප්පු කාලයි අරන් එන්න හෙට උදේම නැගිටලා මට යන්න වෙනවා.උඹට ගෙදර දොර වැඩ කරගන්න තනියම පුළුවන් වුණත් බැරි වුණත් හුරු වෙයන් මැණික ඒකට.ඒක උබේ ලැබීම.

" රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ "

මුළු රෑම මේ විදියට ගෙවිලා ගිහින්.සද නිවිලා ගිහින්.ඔව් .උබට දන්නෙම නැතුව නින්ද ගිහින්.ජීවිතේ අපිට තව සෑහෙන දුරක් යන්න ඉතුරුයි.ඒ ඉස්සරහට එන ජීවිතේට ලෑස්ති වෙන්න මට උබේ තුරුලෙන් නැගිටලා පුරුදු රස්සාවට යන්න වෙනවා.උබව ඇහැරවන්න මට ලෝබයි.ඒ හින්දා උබට මේ අස්වැසිල්ල ඉතුරු කරලා මම හෙමින් නැගිටින්නම්.උබ පුන්චි එකියක් වගේ නිදාගෙන ඉන්නෙ මගෙ පපුව බදාගෙන.මල් පොකුරු පිපිලා තිබුණා මතකයි මට උබේ හිසේ.ඒත් අද තියෙන්නෙ කම්කටොළු ගොඩක් විතරයි.ඒ දුක් කම් කටොළු දරාගෙන මාත් එක්ක දුක් විදින යකඩ ගෑණිට මන් අද දෙන්නෙත් එදා ඒ හුරතල් පුන්චි කෙල්ලට දුන්න හාදුවමයි.උඹ ඇහැරෙනකොට මම පුරුදු විදියට ගල් කොරියෙ ගල් කටුවයි මිටියයි එක්ක පොරබදනවා ඇති.එහෙම නැත්තන් සිමෙන්ති ගඩොල් එක්ක ජීවිතේ හොයනවා ඇති.උඹට දැනෙනවා මට විස්වාසයි මන් උබට දුන්න හාදුව.සොදුරිය උබ මට එදා වගේමයි අදත්.උබට දැණුන ඒ හාදුව මගේ.එදා වගේ ගොඩක් නෑ.එකම එකයි.

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ !!! 

කීපාරක් එකම සින්දුව ඇහුනද මන් දන්නෙ නෑ.සූස්තියෙ බලේ ගිහින් පියවි සිහියට එනකොට එහෙම හාදුවක උණුහුම කොහොම ඇතිද කියන එක ඇරෙන්න වෙන කිසි දෙයක් මතකෙනම් තිබ්බෙත් නෑ.

Wednesday, December 25, 2019

ශාන්තිනී !!!

නිමාවුණු යුද්දයත් එක්ක  ජාති කුල මල තකන්න අවසර නොදුන් අසම්මතයැයි සම්මත මානුෂීය ගනුදෙනු කීයක්නම් නිමාවෙන්න ඇතිද? කුල මල ටිකට හෙන ගහපන් කියලා යාපනේ ආදරවන්තියො කීදෙනෙක් වවුනියාවෙන් මෙහාට ඇවිත් පවුල් කනවා ඇද්ද? සෙනෙහෙලතාලා කීදෙනෙක් වවුනියාවට එහා ඉඳන් තමන්ගේ දමිළ ආදරවන්තයා එක්ක මිදුලේ කෝළම් රටා ඇඳිනවා ඇද්ද? ඒ අතරෙම සින්හල දෙමළ ආදර කථා කීයකට කනකොකා හඬන්න ඇද්ද?

ඒ අතර ශාන්තිනිත් ඉන්නවා කියන එක ශාන්තිනීගේ ආදරවන්තයත් දන්නවා. මන්නාරමට නිවාඩුවක් ගතකරන්න යන නව යෞවනයෙක් ඉන්ග්‍රීසි පන්තියෙන් හොරෙන් පැනලා ශාන්තිනි බලන්න යනකොට ආදර කථාවකට මුල පුරන්න තියා හිනාවකට එහා කථාවකටවත් අවකාශ නැති වෙන්නෙ ඇය ශාන්තිනී හින්දා. හැබැයි ආදරේට භාෂාවක් නෑ කියන  එකේ ඒ ආදර කථාව පටන් නොගෙන තියෙන්න විදියක් නෑ. ඔව්,ඒ ආදරේ පටන් ගත්තා ටික කාලෙකට වුණත්. නිවාඩුව ඉවර වෙලා උසස් පෙළ ප්‍රායෝගික පරීක්ශණ සඳහා නැවත ඔහුට ගාල්ලට යන්න වෙනවා. එන්න කලින් දවසෙ නැවත නොයෙන්න යන පෙම්වතා වෙනුවෙන් ශාන්තිනී කඳුළු හෙලනවා. හැබැයි ඒ කඳුළු පෙම්වතා තමන් ලග නවත්තගන්න තරම් ප්‍රභල නෑ. කාලෙකට පසුව යුධ ගිනි ඇවිලෙනකොට භීෂණ සමයක් එක්ක ශාන්තිනීලා , නීලම්ලා වගේම සෙනෙහෙලතාලා,  සුමනෙලා අමු අමුවෙ ඝාතනය වෙනකොට මන්නාරමේ ශාන්තිනී ගැන එවකට ගුරුවරයෙක් වෙන ආදරවන්තයා කල්පනා කරනවා. 

එදා ශාන්තිනී දාලා එනකොට දැණුන හැඟීම එක්ක ගෙවෙන ජීවිත කාලෙට ශාන්තිනීට කරදරයක් වෙලාද නැද්ද කියන ප්‍රශ්ණාර්ථය එකතු වෙනකොට ප්‍රේමවන්තයෙක් හුදෙකලාව විඳවන හැටි , තමන් වැරදිකාරයෙක් කරගෙන හිතෙන් වැලපෙන හැටි අමුත්තක් වෙන්න බෑ. ඔව් රත්න ශ්‍රී වචන අමුණනවා. හරි අගේට මෙන්න මෙහෙම. 

ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඩන චන්දිරන්
පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

අපිට දෙවියන් පිහිට උනාද නැද්ද මම දන්නේ නෑ. සමහරවිට අපි මන්නාරමේ දෙවියන් නැති තැනක අපේ ආදරේ වෙනුවෙන් දෙවියන් යදින්න ඇති. ඒ හින්දා වෙන්න ඇති දෙවියන්ට අපිව පෙනුනෙ නැත්තෙ. ඒ අතපසු වීම කොච්චර බොලඳද කියන එකට වඩා විඳිනු වස් ඒ බොලඳ අතපසුවීම උඩ මැවුන අකුරු ටික එක්ක තනිවෙන්න හිතුණා. ඒක හරියට චිත්‍ර කථාවක් වගේ එකින් එක රූප රටා මවනවා. ශාන්තිනීගෙ කුන්කුම හේදෙන්න පටන් ගන්නවා ඒ කොහොමද කියලා හිතන්න ඉඩක් තියලා.කොහොමද කියලා හිතන්න දෙයක් නෑ. ප්‍රේමවන්තයා නැවත නොයෙන්න යන්න යනකොට ශාන්තිනීට අඬන්නම වෙනවා. හැබැයි ශාන්තිනී අඬනවට වඩා අහසේ ඉඳගෙන චන්දිරන් අඬනවා. චන්දිරන් කියන්නේ ඉතින් ප්‍රේමවන්තයා මිසක් වෙන කවුද. ඇත්තටම ශාන්තිනීගේ කුන්කුම හේදෙන්නෙ චන්දිරන්ගේ කඳුළු වලින්. එතකොට මොකටද චන්දිරන් අඬන්නෙ. ජාති කුල මල පැත්තකින් තියලා හදාගත්ත පාන් පැළට ඇවිලෙන ගින්නේ දුම වැදිලා මිසක් චන්දිරන් මොකට අඬන්නද. ඒ පාන් පැලට ගිනි තියන්න දීලා දෙවියො බලාගෙන ඉඳලා. එක්කො දෙවියො මේ ගැන දන්නේ නැතුව ඇති. ඉතින් ශාන්තිනී අපි දෙවියන් ඉන්න තැනකට යමන් කියන්නේ වෙන කරන්න දෙයක් නැතිව අසරණ වෙලා හින්දා වෙන්න ඇති. ඒත් දෙවියො හොයන එක එච්චර ලේසි නෑ කියලා ටිකකට අමතක වෙන්න ඇති මේ ප්‍රේමවන්තයාට.

ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඩන චන්දිරන්
පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං 

තිරුවන්ගල් කියන්නේ මොකක් නමුත් ආභරණයක්. කනට පලඳින, එහෙමත් නැත්තන් නහයට පලඳින. මොකක් වුණත් තිරුවන්ගල් එළිය වැටුනෙ කඳුළු වලට. එහෙම වැටිලා කියන කථා ගොඩයි. ඒ කථාවලට භාෂාවක් නැති වුණත් මට ඒවා එකින් එක තේරෙනවා. උඹ තවමත් ඒ කථාව කියනවා, කවියක පද වල අමුණලා. ඒ කවිය කියවගන්න විදියක් මට නෑ. මට යන්නම වෙනවා. ඒත් මේ කවිය කියන උබේ අත් වෙවුලන්නේ මොකද මගෙ මැණික ? මේ දුක උඹට දරාගන්න උහුල ගන්න බැරි තරම් කියලා දැන දැනම ආයෙත් අහන්නේ උඹට මේ දුක් වළලු බර වැඩිද? දරාගන්න බැරි දුක් වළලු අතට දාලා බර වැඩිද අහන එක සාධාරණද කියලනම් නිකමට පොඩි තරහකුත් එනවා. 

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

ශාන්තිනී මට නැති වෙන්න එකම හේතුව කුල මල , ජාතිභේද, සිරිත් විරිත් වල නොගැලපීම. ඒ ඔක්කොම එකතු කරලා උඹලා තියාගනින්. මට ඒ කිසිදෙයක් එපා. තිරුක්කුරල් පොත දිගඇරලා බලපන්. බලලා කොහේහරි තැනක තිරුවල්නූර් ලියලා තියෙනවද කියලා කියපන් ශාන්තිනී මට දෙන්න එපා කියලා. උඹලගේ සිරිත් විරිත් කුල මල එක්ක පොරබදන්න නෙමෙයි මට නෙලාගත්ත මල සිපගන්න ඉඩ දියන්. ඔව් .ශාන්තිනී මලක්. ඒ මල නෙලාගෙන ඉවරයි. ඉතින් සිපගන්න නොදී ඉන්න උඹලට තියෙන අයිතිය මොකක්ද? 


සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

මේ ආයාචනා වලට උන්ගෙ පපුවක් උණු වුණානම් කරෝල පෙට්ටියක් කරගහගෙන මන්නාරමෙන් ගාල්ලට ගම්බිම් බලන්න එන්න තිබුණා. එහෙනම් ශාන්තිනී අද ගාලු කොටුව කෝලම් රටා වලින් සරසන්න ඉඩ තිබුණා.  ශාන්තිනිගේ පැටවු උන්ගේ අත්තම්මා බලන්න ගාල්ලෙන් කෝච්චියට නැගලා මන්නාරමට යන්නත් ඉඩ තිබුණා.
ශාන්තිනී අද සතුටින්ලු, සෙල්වම් එක්ක වවුනියාවෙ. 

සතුටින්ලු???

පිලිගන්න හිත හදාගන්නම අමාරුයි. අඬනවා ඇති . මේ පද ටික ඇහෙන වාරයක් ගානේ. 

හිතෙන්.   

Friday, December 20, 2019

වීණා !!!


සුසර කළ පසු වැයෙන
වීණා
නොපවසනු ඇත සුසර කළ
තතු
වයන උන්නම් අහන්නැතුවැති
බිලිඳු ඇකයෙන් වැටෙනමුත්
ගතු

නැද්ද එතනො ?


"නෙරිය අතින් අල්ලගෙන කිමද නගෝ
දෙතන අතින් අල්ලාගෙන කිමද නගෝ
හිමි නැති මග නුඹ තනියම කිමද නගෝ
අම්බලමේවත් නැවතී යමුද නගෝ"

මේ කියන අසම්මත ආරාධනාව ශිශ්ඨසම්පන්න හික්මුන ආරධානවක්‍ යයි හන්වඩු ගසා එයට ලැබෙන පිළිතුර සන්වර ලදකගේ සුන්දර ප්‍රතික්ශේප කිරීමක් ලෙස වමාරන තැන් එමටයි.

"නෙරිය අතින් ගෙන මඩ ගෑවෙන හින්දා
දෙතන අතින් ගෙන බිලිදුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා "

තමයි ඒ ලස්සන සන්වර යයි කියන පිළිතුර.මෙතනින් පටන්ගෙන මහා බුද්ධිමතුන් ,උගතුන් පඩිවරුන් ආරම්භ කරන්නේ වර්තමාන සමාජයට අපහාසත්මක වචන විසිකරන්න. ඇත්තටම එදාට වඩා අද නරකද? කකියන ප්‍රශ්ණයක් තියෙනවා.

හරි උත්තරේ හම්බෙන එකක් නෑ.හැබැයි කල්පනා කරන්න ගත්තා. එතකොටම ඉබ්බා දියට දැම්මම වෙච්ච එක වගේ එකින් එක පැටලෙන්න ගත්තා.

"එදා වගේද අද, අද ෆෝන් බෑයෙන් මැසේජ් එකක් දැම්මා, හෙට හෝටලෙකට ගිහින් බුදියගත්තා. ඕක තමා අද උන්ගෙ ආදරේ.ඒත් ඉස්සර එහෙම නෑ ......"

රැඩිකල් මහත්තයෙක් එහෙම කියනවා මට ඇහුනා.

එතකොට එදා හොදයිමද?

හද්දා පිටිසරක නොවුනත් අදටත් සරමට යටින් "අන්ඩර් වෙයාර් " එකක් වෙනුවට අමුඩ ලේන්සුවෙ පහස විදින පියදාසලා, රන්බණ්ඩලා, උක්කුහාමිලා එක්ක ඇතිපදම් අතීතාවර්ජනාවලට අවස්ථාව ලැබිලා තියෙනවා.

"මේ අමුඩ ලේන්සුව ගලවපු නැති උන්දැලා මේ ගං හතේ හොයන්ඩ නෑ බොල කොල්ලෝ තොට. ගිහින් අහපිය එහා ගෙදර .... ගෙන්"

බොන්ඩ තියෙන අරක්කු සේරම බීලා ගහන්ඩ තියෙන සූස්ති සේරම ගහලා චූ පෙරාගෙන පච්ච කොටන හුජ්ජ කොල්ලො වගේ ඇණයක් රත් කරලා අම්මා බුදු වේවා කියලා පපුවෙ කොටාගත්ත එවුන් බොරු කියන්නෙ නෑ කියලා මට විස්වාසයි.

එහෙම නැත්තන් පින්කම් ගෙදර ගිහින් එන එතනා ආච්චිගෙන් උන්දෑ

"නැද්ද එතනො ? "

කියලා අහද්දි එතනා ආච්චිගෙ මූණ රතු වෙලා

" පලයං බං අයියේ යන්ඩ"

කිව්වෙ අහවල් එකටද.

රාමා සීතා ආදර කථාවට ආවඩන හැමවෙලාවකම මට හිතෙනවා ලස්සනම ආදර කථාව රාවණා සීතා වෙන්න බැරිද කියලා.මොකද රාමගෙ ආදරේ එච්චරම රමණීයනම් රාවණා ලග ඉදන් බේරගෙන නෙමෙයි අරගෙන ගියාම ගින්දරට පැනලා ඔප්පු කරපන් කියන්නෙ මොනවද කියලා හිතෙනවා. රාවණා නියම පිරිමියෙක් නොවන්නට හේතු කිසිම කියවීමක නැති හින්දා ඈත ඉදන් සීතා ගැන ආදර හීන මවලා එතැනින් නවතින්න ඇති. පරිස්සමට පලයන් කියලා හිත හදාගත්ත ආදර කථාවක් රාවණා එක්ක මැරිලා යන්න ඇති. සමහරවිට සීතට ඒක දැනෙන්නත් ඇති. ඔය කියන ආදර කතන්දරේට නොදෙවෙනිව තමන්ගෙ වයලීන් පන්තියට ආව පොඩි කෙල්ල ගැන ඇතිවෙන අසීමිත ආදරය වෙනුවෙන් ඉකිගසමින් තැවෙන ආදරවන්තයෙක්ගෙ අදහස් එක්ක

"මමයි නුඹේ වියපත් බඹරා"

කියලා ලියවෙනකොට වර්තමානය ඇතුලෙ අතීතයට ප්‍රතිලෝමයක් ඇත්තටම කොහෙන්ද ?

එක බත් එක බෙදාගෙන කාපු ආදරවන්තියට

"හන්තානට පායන හද ලස්සනයිද බලන්න 
ලතාමඩුළු අත වනද්දි එපා අහක බලන්න "

කියලා කැපකරන වර්තමානයට බැන බැන සෙල්ලම් රජාගෙ අගමෙහෙසිය වෙච්ච ප්‍රමිලා එක්ක දස්කොන් අධිකාරම පටන් ගත්ත අසම්මත ඇසුරකට ආවඩන එක ? ගැටළුවක් !

ගම්පෙරලිය කියවන්න වෙලාවක් නොදී එහා ගෙදර එකාට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගනින් කියලා ඉපදුන දවසෙ ඉදන් ලේ වලට කා වද්දලා කැමතිද නන්ගි අහපුවම අම්මගෙන් අහලා කියන්නම් කියන දුවක් බලාපොරොත්තු වෙන එකෙයි වැරැද්ද තියෙන්නෙ කියලා නිකමට හිතෙනවා.

ඔච්චර ඔය කියන තරම් සාජහන්ගෙ හිත ආදරණීයනන්, මුම්ටාස්ට දුන්න ආදරේ මේ කියන තරම් බොකු බඩවැල් ඉරාගෙන යන්න අමරණීයනම් හදපු සොහොනෙ නිර්මාණකරුගෙ ඇස් අන්ද කරලා දාන්න තරම් හිතක් පහළ උනේ කොහෙන්ද කියන ප්‍රශ්නෙ එක්කම මුම්ටාස්ගෙ නන්ගි පහුවදා ඉදන් සාජහන්ගෙ බිසව වෙන්නෙ කොහොමද කියන දෙවනි ප්‍රශ්ණාර්තෙත් කුරුටුගාන්නම වෙනවා.

එදා කුඹුරක් හානකොට, කරත්තෙක යනකොට, ගොයම් ටික කපනකොට කියවුන පද ටික ජනකවි කියලා අද කන බොන ගමන් කියවෙන පද ටික වල් පල් කියන මහලොකු රැඩිකල් විචාරය අසික්කිතයි.උන්ට අත්වැල් අල්ලන උන් හොදයි අඩහැරයක් කියාගෙන යන්න නගුලට බැදගන්න. මොකද එදත් ලියවුනේ කියවුනේ අද වගේමයි.හොද නරක දෙකමයි.හොද ටික අගය කරගෙන ඵලක් නැති ටික හේදුනා කියලා හිතෙනවා.

ඒකයි

"තොල් පෙති දෙක රතු මිරිස්‍ ය
පියයුරු දෙක ටී බනිස් ය
රූපෙන් අන්තිම උසස් ය
ඈ ටයිටස්ගේ මිසිස් ය "

කියලා ගුවන් විදුලියේදි ලියවුනාට තැන තැන කියවුනේ නැත්තෙ.