Monday, December 17, 2018

නුඹ හිටියෙ නැති එක හොඳා...

මුම්ටාස් නුඹ හිටියෙ නැති එක හොඳා 
හිටියනම් නුඹ වැලපෙන්න තිබුණා
ටජ් මහල කිරි ගරුඩ වුන එක හොඳා 
කළු ගලක් නම් උණු වෙන්න තිබුණා

නාන තොටුපල කඩපිලේ උන් පවා
කොඳුර කොඳුරා නුඹේ පෙම ගැන කතා
ආග්‍රාවේ අහස් කුස නුඹ මවා 
ඇගේ ආදර පලහිලව්වට වතා

අළු ගොඩෙන් නුඹ සීරුවෙන් ගෙනැවිත්
කිරිගරුඬ ලන්සුවට හිර කරලා
සිහිල් සළුවෙන් වසන් කර ගෙනැවිත්
සාජහන් පෙමකටත් මුල පුරලා

ඉතින් නුඹ අද හිටියෙ නැති එක හොඳා !!!

Tuesday, July 24, 2018

"අයියේ !!! අයියේ!!! "

වෙලාව හවස හයට විතර ඇති. වෙල් යායට මූණ දාලා අටවලා තිබුණ කොට කෑල්ල උඩ ඉඳගෙන බලන් ඉන්නකොට ඉර බැහැලා යන හැටි කොච්චර ලස්සනද.බාප්පාගෙ කටහඬ කියලා දැන දැනත් මොකටද ආවෙ බලන්න යනවට වඩා මට මෙතන ඉන්න එක වැදගත්. මන් ගිහින් එනකොට ඉර හොරෙන්ම යන්න ගිහින් තිබුණොත් කාට කියන්නද.
හරිනම් අප්පච්චි හෙට මෙහෙ ඇවිත් අපිත් එක්කරගෙන කොලඹ යන්න ඕනෙ. එන්නෙ නැති වෙයිද දන්නෙත් නෑ.ගිය සතියෙත් ආවනෙ. ආවොත් හොඳයි. කොළඹ යන්නෙ කෝච්චියේ එන්ජිමේනෙ, අප්පච්චිගෙ යාළු මාමා හිටියොත්. ඔන්න ඉතින් කෝච්චියේ කොලඹ ගිය හැටි මතක් කරලා වෙච්ච් දේ. මෙච්චර වෙලා බලන් හිටියට වැඩක් නෑ, ඉරත් බැහැලා ගිහිල්ලනෙ.

හෙමින් හෙමින් මාමලාගෙ ගෙට ගොඩ වෙනකොට එයා බාප්පා එක්ක බර කථාවක්.

"පුතේ මල්ලිට ඇඳුමක් අන්දවගන්නකො" ඒ මාමා.

"මේ මොන හත්තිලව්වකද මහ රෑ මට ඇඳුමකුත් අන්දගෙන එක්කන් යන්න හදන්නේ"

යන අතරමග තමයි මට තේරුණේ මේ යන්නෙ අපේ ගෙදර කියලා. දැන් රෑ තිස්සෙ රවුම් ගහලා හෙට ඉස්කෝලෙ යන්න ඇහැරවපු දෙන්කො.

ගිය මාසෙ එනකොට මකුණු දැල් බැඳලා කැතේ බැරුව තිබ්බ අපේ ගෙදර ගමේම අය ඇවිත් සුද්ද කරලා. මෙන්න බොලේ මල්ලිලයි නන්ගිලයි සේරමත් ඇවිල්ලා. අදනම් හොඳට සෙල්ලම් කරලා මාමට කියනවා හෙට ඉස්කෝලෙ යන්න බෑ කියලා. ඒත් ගමේ මිනිස්සු සේරම මේ මහ රෑ අපේ ගෙදර මොකක් කරනවද.

"බස්නාහිර කොහෙද අයියේ?"

"අහ්, ඔය දිග ජනේලෙ තියෙන පැත්තට මල්ලි"

මම සාලෙට දුවගෙන ගියෙ ගිය මාසෙ පැදලා දාලා ගිය මගෙ බයිසිකලේ මේ මිනිස්සු කොහෙ දාලද කියලා හොයාගන්න.නැත්තන් ගිය පාර ගෙදර පිරිත් කියලා ඉවර වෙනකොට මගෙ සෙල්ලම් බඩු ටිකට වෙලා තිබුණ එකම තමා ඕකටත් වෙන්නෙ.අම්මා අරන් දීපු පොඩි කාර් සෙට් එකෙන් දෙකක් තවත් නෑ.සාලෙට අඩිය තියනකොටම හිටිය මිනිස්සු අයින් වෙලා මට යන්න ඉඩ දුන්නට කෝ ඉතින්, කවුදෝ මනුස්සයෙක් මාව බදාගෙන මට යන්න දුන්නේ නෑනෙ එතනින් එහාට.

බයිසිකලේ කොහෙ හොයන්නද. මේ අප්පච්චිනෙ මාව බදාගෙන තියෙන්නෙ.අම්මගෙ ඔළුව බස්නාහිරට හරවලා පොල්තෙල් පහන පත්තු කරනකල් වෙන්න ඇති මයෙ හිතේ.

"බස්නාහිර කොහෙද අයියේ?" එහෙම අහලා තියෙන්නේ මල්ශාලාවෙ මාමා...

Monday, July 16, 2018

කුසාවත බලන් නුඹ තව අඬනවද

පබාවතී නුඹ සතුටින් ඉන්නවද
හවහක එවන්නම් මල්කම් විඳිනවද
වෙණ ගායනා ඉඳ හිටවත් ඇහෙනවද
හිමි සඳ එක්ක නුඹ තවමත් විරසකද

සිරියහනේ මම තනියෙන් නිදන්නේ
නුඹෙ සුවඳයි සිරියහනම හොයන්නේ
මගෙ සුසුමයි සිරියහනට දැනෙනෙනේ
සිරියහනට නුඹ කවදද වඩින්නේ

පුන් පියයුරෙන් පුළුලුකුලට වෙහෙසයිද
සුවඳ පැණෙන් නෙතු සඟලම දොවනවද
නාදළු දෙතොල මිණි කිංකිණි සලනවද
කුසාවත බලන් නුඹ තව අඬනවද





Tuesday, July 10, 2018

රාවණා නුඹ නාවොතින් අද නුඹේ දඩුමොණරෙන් ඵලක් නෑ
දසිස් ගිණිකෙළි මැදින් ගෙනැවිත් හිමිට මන් ගැන නිනව්වක් නෑ
මාළිගාවෙදි ඇස් කොනින්වත් නුබෙන් මට වුණු වැරැද්දක් නෑ
පතිනි පූජාවට කලින් නුඹ ආවොතින් නෑවිදින් ඉන්නෑ
මහමෙරක් වූ
නුඹේ ප්‍රේමයේ,
රාග අංශුමාත්‍රයෙන් 
සැනැහී 
නොකිලිටිව දන් දුනිමි
ප්‍රේමයම !!!
ලතා මඩුළු ගැන මම යළි කතා නොකර ඉන්නම්
සරසවියට නුඹත් එක්ක අද ඇවිදින් යන්නම්
හිත හදාන මට හිටියැකි හෙට මම අමතකනම්
ගල් කොරියට උකස් කරපු කරගැට හරි ඝනකම්

දෙස් දෙවොල්...

විමානයෙන් බැස එන්නට
දේව යාතිකා මදිවට
වැරෙන් වීරියෙන් පොළොවට
තලන කවි කතා හුට පට

පතා මිණි මෙවුල් අභරණ
වතාවත් තබා විවරණ
සිතා තැටි ඔතා පුරවන
සතා හිත හිතා සැනැහෙන

පොල් ගසා නමින් අදහන
දෙස් දෙවොල් මුවින් මුමුණන
පස්වහන් දහක් බුදුවන
බස් කෙසේ විදිම් අවසන