සෞන්දර්ය , හරි ලස්‍සන වචනයක්.මහලොකුවට නොදන්‍නවා උණත් විඳින්‍න පොඩ්‍ඩක් ආසාවෙන් ඉන්‍න හින්දා එහෙ මෙහෙ අතපත ගානකොට අත ගැටෙන තැන් වලදි හිතට
දැණුන දේවල් ටිකක් තිබුණා.සුන්‍දරත්‍වය, ලස්‍සන,ආදරය,කරුණාව
,දයාව,ආගම දහම,හුදෙකලාව ලෙස අපි වටේ දැවටෙන පාරිශුද්‍ද
ස0කල්‍පනා වල විතරක්‍මද මේ සෞන්‍දර්‍ය තියෙන්‍නෙ? නැත්‍නම් ලස්‍සනට
ගලාගෙන යන තනුවකට අමුනපු පද ටිකකට විතරක්‍මද මේ සෞන්‍දර්‍ය
කියන්‍නෙ?එහෙමත් නැත්‍නම් පද පේළි නැතිව කීපදෙනෙක් එකතු වෙලා
උපකරණ ටිකකින් උපද්‍දවන ලස්‍සන ශබ්‍ද ටිකක එකතුවක්‍ද මේ
සෞන්‍දර්‍ය කියන්‍නෙ?මෙහෙම මනස්‍ගාත ටිකක් ඔළුවට ආව තැන මතක්
වුණ පොඩි පොඩි දේවල් ටිකකින්
මේ කාරණේ වැටහුණා කියලත් හිතෙනවා,නොවැටහුනා වුණත් වැටහුණා
කියලා හිතාගෙන ඉන්‍නවා.
දවසක්
ඉර බැහැලා ගිහින් හීන් කළුවරක් එක්‍කම හඳ එළියකුත් වැටෙන
වෙලාවක නිසල වැව් කණ්‍ඩියක තිබුණූ ගලක් උඩට වෙලා ඉඳගෙන ඒ
වැවේ නිසල ජල තලාවට වීසිකරපු පුන්‍චි ගල් කැටේ ගිලගෙන සතුටට
වගේ රවුම් රවුම් රැළි පෙළක් එක්‍ක සතුටු වෙලා ආයෙත් කිසිවක්
නොවුණු ගානට කරබාගෙන ඉන්‍න ජල තලාව මට මතකයි. මේ සෞන්‍දර්‍ය
කියලා මට දැනෙනවනම් ඒක වැරදිද.වැරදි වෙන්‍න ඇති සමහරවිට.ඒත්
මේ මට දැණුන, දැණෙන සෞන්‍දර්‍යනෙ කියලා අදටත් රසවිඳිනවා .
නිකමට
වගේ ගමේ වෙල් යාය මතක් වෙනකොට පොහොර ටික ගහලා ගහපු පොහොර
ටික දියවෙලා යනවට එරෙහි වෙන්‍න හිතාගෙන වක්‍කඩට දාලා තද
කරපු පස් පිඩැල්‍ලට අවනත වෙලා ඊට උඩින් හෙමීට හොරෙන් වගේ
බි0දුව ගානෙ වැටෙන වතුර පාර හිත ඉස්‍සරහ මැවුනේ ඒ හීන් සද්‍දෙත්
එක්‍කම. මේ සෞන්‍දර්‍ය කියලා මට දැනෙනවනම් ඒක වැරදිද.වැරදි
වෙන්‍න ඇති සමහරවිට.ඒත් මේ මට දැණුන, දැණෙන සෞන්‍දර්‍යනෙ කියලා
අදටත් රසවිඳිනවා .
අපේගෙදරට
ටිකක් දුරින් තියෙන රේල් පාරෙ රෑ නවය පහු උණාම යන කෝච්‍චි වල සද්‍දෙ
ලාවට වගේ ගෙදරට ඇහෙනවා.එක දිගට ඈතින් හෙමින් ඇවිත් ටික
ටික වැඩි වෙලා අඩුවේගෙන යනව ඇහෙන මේ සද්‍දෙට හරි ලස්‍සනට
නලා හඩකුත් ඉදලා හිටලා එකතු වෙනවා. ඒ කෝච්‍චිය එනවා කියලා
දැනෙන්‍න හරි පාරෙ සත්‍තු එහෙම ඉන්‍නවනම් උන්‍ට අයින් වෙන්‍න
කියලාහරි වෙන්‍න ඇති.කොහොම උණත් මේ ඇතුලෙ හරි ලස්‍සන සද්‍ද
ටිකක්,වගෙම සද්‍ද වල වෙනසක් ඇහෙනවා. මේ සෞන්‍දර්‍ය කියලා
මට දැනෙනවනම් ඒක වැරදිද.වැරදි වෙන්‍න ඇති සමහරවිට.ඒත්
මේ මට දැණුන, දැණෙන සෞන්‍දර්‍යනෙ කියලා අදටත් රසවිඳිනවා .
අපි කැලේක
ටෙන්‍ට් එකක් ගහගෙන හිටිය දවසක මට මතකයි රැහැයියො දෙතුන්
දෙනෙක් එහෙන් මෙහෙන් සද්‍දකරනවා.ටිකක් වෙලා අහගෙන ඉන්‍නකොට
අද අහන සමහර සින්‍දු වලට වඩා හොදයි නේද කියලා හිතුන හින්‍දා
ඒ සද්‍දෙ ටිකක් වුවමනාවෙන් වින්‍දෙ ගිනිමැලේට එකතු වෙලා පිච්‍චිලා
යන පුන්‍චි සත්‍තුන්‍ගෙ මරණය හොයාගෙන යන ගමනෙන් ඇස් දෙක ඉස්‍සරහා
මැවුන ලස්‍සන සිතුවමත් විඳින ගමන්. මේ සෞන්‍දර්‍ය කියලා මට
දැනෙනවනම් ඒක වැරදිද.වැරදි වෙන්‍න ඇති සමහරවිට.ඒත් මේ
මට දැණුන, දැණෙන සෞන්‍දර්‍යනෙ කියලා අදටත් රසවිඳිනවා .
මේ සේරම
අස්‍සෙ නිදාගන්‍න ඇදට ගිය වෙලාවට කිසිම සද්‍දයක් බද්‍දයක්
නැති හින්‍දා මට ඇහෙන මමම හුස්‍ම ගන්‍න සද්‍දෙ ඇතුලෙ හරි ලස්‍සන තාලයක් මැවෙනවද කියලා හිතුණා.එතකොටම
මතක් උණා මීට ගොඩක් කාලෙකට ඉස්‍සර එක මනුස්‍සයෙක් තමන්‍ව
නලවන්‍න අම්‍ම කියපු “දොයි දොයි දොයි දොයිය බබා, බයි බයි බයි
බයිය බබා” තාලෙට වික්‍ටර් රත්‍නායකට ගායනා කරන්‍න “ආදරයේ
උල්‍පත වූ අම්‍මා මා ඔබගේ පුතු වූ” කියලා පද ටිකක් ලියලා තියෙනවා
නේද කියලා.දැන්‍නම් මට විස්‍වාසයි මම සෞන්‍දර්‍ය කියලා රසවිඳින්‍න
හදන දේ සෞන්‍දර්‍යම නොවුනත් ඒක අඩුම තරමෙ සෞන්‍දර්‍ය කියන
සුන්‍දර මාතෘකාවෙ අනුමාතෘකාවක හරි වැනුමක් කියලා….
No comments:
Post a Comment