Monday, July 16, 2018

කුසාවත බලන් නුඹ තව අඬනවද

පබාවතී නුඹ සතුටින් ඉන්නවද
හවහක එවන්නම් මල්කම් විඳිනවද
වෙණ ගායනා ඉඳ හිටවත් ඇහෙනවද
හිමි සඳ එක්ක නුඹ තවමත් විරසකද

සිරියහනේ මම තනියෙන් නිදන්නේ
නුඹෙ සුවඳයි සිරියහනම හොයන්නේ
මගෙ සුසුමයි සිරියහනට දැනෙනෙනේ
සිරියහනට නුඹ කවදද වඩින්නේ

පුන් පියයුරෙන් පුළුලුකුලට වෙහෙසයිද
සුවඳ පැණෙන් නෙතු සඟලම දොවනවද
නාදළු දෙතොල මිණි කිංකිණි සලනවද
කුසාවත බලන් නුඹ තව අඬනවද





Tuesday, July 10, 2018

රාවණා නුඹ නාවොතින් අද නුඹේ දඩුමොණරෙන් ඵලක් නෑ
දසිස් ගිණිකෙළි මැදින් ගෙනැවිත් හිමිට මන් ගැන නිනව්වක් නෑ
මාළිගාවෙදි ඇස් කොනින්වත් නුබෙන් මට වුණු වැරැද්දක් නෑ
පතිනි පූජාවට කලින් නුඹ ආවොතොන් නෑවිදින් ඉන්නෑ
මහමෙරක් වූ
නුඹේ ප්‍රේමයේ,
රාග අංශුමාත්‍රයෙන් 
සැනැහී 
නොකිලිටිව දන් දුනිමි
ප්‍රේමයම !!!
ලතා මඩුළු ගැන මම යළි කතා නොකර ඉන්නම්
සරසවියට නුඹත් එක්ක අද ඇවිදින් යන්නම්
හිත හදාන මට හිටියැකි හෙට මම අමතකනම්
ගල් කොරියට උකස් කරපු කරගැට හරි ඝනකම්

දෙස් දෙවොල්...

විමානයෙන් බැස එන්නට
දේව යාතිකා මදිවට
වැරෙන් වීරියෙන් පොළොවට
තලන කවි කතා හුට පට

පතා මිණි මෙවුල් අභරණ
වතාවත් තබා විවරණ
සිතා තැටි ඔතා පුරවන
සතා හිත හිතා සැනැහෙන

පොල් ගසා නමින් අදහන
දෙස් දෙවොල් මුවින් මුමුණන
පස්වහන් දහක් බුදුවන
බස් කෙසේ විදිම් අවසන

මුම්ටාස්

ආග්‍රාවම මුම්ටාස් උඹ නමින් අද හැඩුවා
මගේ ආදර හිලව්වට මම ටජ් මහල හැදුවා
උබේ නන්ගිට අද හවස මම මගේ දුක කිව්වා
ගෙදර නොගිහින් මගේ තනියට ඉන්නවා කිව්වා

කිරිගරුඩ මාළිගේ බල බල උන් කදුළු බිව්වා
මටත් පුදුමයි අපේ ගැන උන් කවි පවා ලිව්වා
උන්ගෙ කවිවල අපේ ගැන වචනයක් මම හෙව්වා
පට්ටපල් බොරු ලියලා මුන් නන්ගිටත් මම කිව්වා

උබේ සොහොනට කිරිගරුඩ කැට හොද හැඩට තිබුණා
නිල් මැණික් අතරින් පතර හරි ලස්සනට පෙනුණා
අපේ ආදර කතාවට මල් මාල වැහි වැටුණා
උන්ට හොදනම් මටත් මොකටද කියලා මට හිතුණා

දස්කොන්

සෙල්ලම් නිරිඳු සැතපෙන සිරි යහන මත
වැතිර සිටින යුරු දුටුවෙමි නුඹේ වත
යන එන ගමන සැනැහූයෙමි නිබඳ ගත
නොයෙන ගමන වාවනු කෙලෙසකද හිත

සුසිනිදු  සිනිදු සළුවෙන් නුඹ වසා සිටී
තුසිතය කෙමෙන් මා අභියස මැවුණු හැටී
අප මහ නිරිඳු රජ තෙජසින් බලන් සිටී
තුසිත පුරම දැල්වූයෙමි පහන් වැටී

දස්කොන් මමයි සක්මන් මළුවෙදි දුටුව
ඉක්මන් ගමන් යන්නට නුඹ සිදු කෙරුව
යදමින් බැඳන් මා එන මග පසු කෙරුව
මළුවත් කදුළු හෙලුවා වාවනු බැරුව

මා යන ගමන නුඹ හට දැණුනද දේවී
සදළු තලේ හිද  හැඩුවද රෑ බෝ වී
දස්කොන්  හඳක් හෙට හවසත් පායාවී
සළු පිළි ඔතන් මළුවට වැඩපන් පේවී