Tuesday, July 2, 2019

පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි වීදුරු කැඩපත බිම දැම්මේ

පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කර ලන දා

කටු මැටි බිත්තියෙ හැඩ කර අඳිනා
රූ සෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

ළිදේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් මාසිත ආදර දියණියනේ
පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ

නන්දා මාලනිය ගායනා කරන ලූශන් බුලත්සින්හල අතින් ලියැවුණ මේ සින්දුව ඇහෙනකොට හිතේ මැවෙන දේ නිකමට ලියාගෙන යන්න හිතුණා.  ඇත්තටම පිපුණු මලක රුව එමල දකිනවද කියන ප්‍රශ්නාර්ථයක් එක්ක වචනෙන් වචනෙ අහගෙන ඉන්නකොට හිතේ මැවුනෙ පාළු කටුමැටි පැල් කොටයක දිරාපු ජනේලෙකින් එලිය බලාගෙන ඉන්න ලස්සන පොඩි කෙල්ලෙක්. දුවගෙ හිතක් කියවන්න හොඳම හැකියාව තියෙන්නේ ඒකිගෙ අම්මට මිසක් වෙන කාටද. සින්දුවේ දෙවනි පද පෙළ පටන් ගද්දිම ජනේලෙට පොඩ්ඩක් එහායින් ඉඳගෙන කඩමල්ලක් ඇඳගෙන සුර ලෝකෙක හීන දකින තමන්ගෙ පොඩි එකී දිහා බලාගෙන ඉන්න වැහැරිලා ගිය අම්මා කෙනෙක් මට පේනවා. 

මෙතනදි මට මුණගැහෙන සුන්දරම ආඩපාලිය මට ඇහෙනවා මෙන්න මෙහෙම.

"නැති බැරිකම මුතුමාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලන දා"

මාල හතක් දාලා හත්දවසක් මගුල් කන්න හීන දැක්කට මගුල් දවස ඉවර වෙනකල් කරේ එල්ලෙන මාල හත වෙනුවට මගෙ එකීට උරුම වෙන්නෙ නැති බැරිකම එක්ක ගුලි වෙලා ගලන කඳුළු කැට ටික නේද. මේ ගැන දන්න හින්දා උඹට කියන්නම් දුවේ මලක් වගේ ඉඳපන් කැඩපතක් හොයාගෙන හැඩබලන්න යන්නෙ නැතිව.මොකද උඹේ හැඩ උඹ කොච්චර බැලුවත් උඹේ කරට මාල හතක් වැටෙන්නේ නෑ.

"කටු මැටි බිත්තියෙ හැඩ කර අඳිනා
රූ සෙවණැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ
පාළු කරට නුඹෙ අත නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ"

ගෙදර තිබුණ එකම වීදුරු කණ්ණාඩියත් කඩලා විසිකරලා දැම්මට පස්සෙ උඹ කටු මැටි බිත්තියේ හෙවණැල්ලෙන් ඇදලා දුන්න රූපේ බලාගෙන දණක් දිගට වැවිච්ච කොණ්ඩේ පීරගත්තට පිළිවෙලක් නැති කටුමැටි බිත්තියත් උඹට ඔච්චමක් කරනවා මිසක් උඹට අත්වැල් දෙනවා නෙමෙයි ඔය, උබට නොතේරුණාට.ඔය හරුපෙ දන්න හින්දා තමයි උඹව කළ හතකින් නාවලා ගෙට ගත්ත දවසෙ අළුත් රෙද්දක් ගන්න සොච්චමක් නැති කොට කහ ගැහිච්ච සිල් රෙද්දෙන් වහගෙන ඇවිත් උඹේ මූණ පෙන්නපු විගහට ගේ හරියටම තිබුණ කණ්ණාඩි කෑල්ලත් කඩලා විසිකරලා දැම්මේ.

"ළිදේ අඩිය හිරු නොබලන පින්නේ
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ
නොතලන් මාසිත ආදර දියණියනේ"

ලිඳේ අඩිය හිරු නොබලන පින්නේ කියනකොටම මගෙ හිතේ මැවෙනවා වෙල් යායක අයිනෙ කුඹුක් ගහක් අස්සේ තියෙන ළිඳකට නියරෙ තණ ගොල්ලට වැටිච්ච පිණි ටික වේලෙන්නත් කලින් කොහොල්ලෑ පැලැස්තර පහ හයක් දාපු කළගෙඩියකුත් උකුළේ තියාගෙන ඇවිත් එබි එබී තනියම හිනාවෙන ගැටවර ටිකිරි ලියක්. මට මැවෙන මේ සායම බලන් ඉන්න අම්මගෙ පපුව පුච්චපු තරම

"නොතලන් මා සිත ආදර දියණියනේ"

කියලා අම්මා පිට කරලා දානව. සමහරවිට ගෙදර කටු බිත්තියෙන් බලාගෙන කොණ්ඩෙ පීරනකොට අම්මට දුක හිතෙන හින්දා වෙන්න ඇති හිනාවෙන්න ළිඳට එන්න ඉරක් නැති වුණත් උදෑනැක්කෙම ඇවිත් නිල් කැට වතුර ටිකෙන් ලස්සන බලාගන්න හිතුවෙ, අම්මට නොපෙනෙන්න. රසාතල කලතන ගැටවර හිතක හීන කටුමැටි පැළක කටු බිත්ති වලින් කොහොම කොටු කරන්නද. ඒ හීන උඹට උරුම නැති හින්දයි කර පාළුයි කියලා වහන් කරන්න හැදුවෙ. නැතුව උබේ අම්මට උඹ ගැන හීන නැතුව නෙමෙයි.

"පාළු කරට නුඹෙ ඇස නොගැටෙන්නයි
වීදුරු කැඩපත බිම දැම්මේ"

කියලා ඉවර වෙද්දි අන්තිමට මට නිකමට හීල්ලුනා....