Friday, November 20, 2020

සුමනෝ !!!


සිදාදියෙ මහ තැනක

සීත කාමරයක කොනක

ලන්සුවට මැලවිලා

ගමට විත්

හඩන කල

පිහිට වූ බණ්ඩාට

කැන්දාන ආ රෑම

කන්දෙ ගෙයි සුමනා

ලන් වෙලා කිව්වේ

"දාඩියත් දාලා,  

මේ ටිකට"

නුබේ සිත්තර රමණ මුසපත් !!!

 සිත්තරුන් දහක් නෙත්

ඉතසිතින් ගිලගත්

හසුන් නුඹ කල මත්

සිල්ලරට විකිණෙත්


වතකමල රූමත්

සිගිරි බලකොටු පුරවත්

කාශ්‍යපට හිමි මුත්

සිත්තරෙක් නොම වෙයිද මුසපත්


පින්සල් තුඩින් නුඹ

මගේ ලැම හස සෙමෙන් පිරි මැද

කරන පෙළහර සද

සිරියහන් ගැඹ කෙසේ විදිනද


රහසක් කියන්නම්

කසපු රජ සිරියහන සුවපත්

කොපුල් තල පිරි නොමැදත්

නුබේ සිත්තර රමණ මුසපත්

සයිමගෙ රගේ නිකමට වගෙ දැණුනා මට

 කුඹුරු අක්කර ගනන් තිබුණනම් මැණිකේ

කැන්දාන එයිද උඹ හදපානෙ හනිකේ

කනටියෙන් ගෙට ගත්ත වී ටිකත් වික්කේ

කම්බාය අරගන්ට උඹ නැද්ද දැක්කේ


නෑනට හොරෙන් සයිමා මෙහෙ ඇදෙනකොට

නෑනගෙ මූණ වැහි කෝඩෙන් වැහෙනකොට

නෑනගෙ පුසුඹ උඹ ගාවින් හමනකොට

සයිමගෙ රගේ නිකමට වගෙ දැණුනා මට


නෑනට කලින් සයිමට උඹ හම්බෙන්නට තිබුණා

සයිමට කලින් මට නෑනව හම්බෙන්නට තිබුණා

එහෙමත් වෙලා සයිමා මෙහෙ ගාටන්නට තිබුණා

නෑනට වඩා එහෙනම් උඹ මට වටින්න තිබුණා

පන්දහට ඔච්චරයි!!!

ලහිපිටෙන් මුණගැහුණු

නාවලා ගෙට ගත්තු

සුළු වැරැද්දකුත් නැති උන්දෑට

මගුල්දා අදුරේම

එකොලහේ කනිසමට

පන්දහක් දික්උනෙ

ඉබේටම වාගේ

"පන්දහට ඔච්චරයි"

උන්දැටත් කියවුනේ

පුරුද්දට වාගේ...

ඒකි !!!

 


ඒකි මට හම්බ වුණේ මුහුදු වෙරළක අයිනෙ බන්කුවක් උඩදි.ඒකි ඒ ගවුමට ලස්සනද ගවුම ඒකි හින්දා ලස්සනද මන්දා.පහුවදා උදේ තේ දෙකක් හැදුවෙත් ඒකිමයි. ඒකි ඉල්ලුවෙ එක්දාස් පන්සීයයි. මන් දෙදහක් දුන්නා, රුපියල්නම් නෙමෙයි.දීලා ඒකිට කිව්වා 

"බ්‍රා දෙකතුනක් ගනින්.ඕක ඉරිලා" 

කියලා.

"ඊයෙ උබ මාව එක්කන් ආවෙ මේ ගවුමට මන් ලස්සන හින්දා.ඕක ගන්න මිනිස්සු තුන් දෙනෙක් එක්ක හිටියා.එක්කන් ආවට පස්සෙ ගවුම ගලවද්දි බ්‍රා එක ඉරිලා කියලා උබ මාව එලවගත්තෙ නෑනෙ.ඉතින් මොකටද මට ඉරිච්ච නැති බ්‍රා ?"

ඒකි හිනා වෙලා ගෝල්ඩ් ලීෆ් ගහ ගහ ඉන්න අතේ සල්ලි නැත්තන් බීඩියක් හරි උරවන මම ආටෝපෙට ගත්ත ටිකක් ගණන් සිගරට් පෙට්ටියෙන් එකක් අරන් පත්තු කරගත්තා.

මමත් ඒකිගෙ සිගරට් එකෙන්ම උගුරක් ඇද්දා.

ඒ තේ එක පට්ට රහයි.

"ඉරිච්ච බ්‍රා එක උබට ගවුමට වඩා ලස්සනයි"

කිව්වා නෙමෙයි.කියවුනා...

සද ඔහේ යනතක ගියාවේ !!!

 කාලෙකින් අද මියැදුනා අපි

මළ බතක් නොඉදෙන විමානෙක

තාරුකා එහෙ මෙහෙ වුණාවේ

සද ඔහේ යනතක ගියාවේ


විමන් දොරකඩ ලතෝනියකට

වියන් නොබැදුන සෝ සුයාමෙක

අපිට අපි නැති අපේ මළගම

සුසුම් නොතැවී දැවී ඉපැදුණ


ඉතින් අප යා යුතුම මොහොතයි

නොපමාව අද අපෙන් සමුගෙන

මියෙන්නට තව දිනක අවසර

විමානෙක අපිටම නිමාවුන

"පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී"

 "පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී" 

කියලා ඇහෙනකොටම මට නිකමට හිතුණා එහෙමද නැත්නම් පිය සෙනෙහසට ලියැවුණ කව් ගී අපි කියෙව්වා මදිද කියලා. 

අපි දුෂ්කර පළාතක ඉස්කෝලෙකට ගිහින් ළමයින්ට උගන්නන්න. දවස් දෙක තුනකට . මමයි තව මගේ එකෙකුයි ටවුන් එකට ගිහින් එන්න යනවා ඕනෙ කරන බඩු වගයක් ගේන්න. ඉස්කෝලෙට ආව ළමයි දෙන්නකුගෙ දිරපු බයිසිකල් දෙකක් පැදගෙන. ආපහු එනකොට ඉස්කෝලෙ ගේට්ටුව ලග තාත්තා කෙනෙක්.

"මහත්තයෝ මගෙ දුවගෙ නම ..... , මේ බනිස් ගෙඩි දෙක දුවට දෙන්න පුළුවන්ද උදේට කාලා ආවෙ නෑ අද"

"අපෝ ඕක මොකක්ද මාමා. මන් දෙන්නම් "

ඒ මගෙ ගොඩේ පිළිතුර.

"මහත්තයා, දුව ඇතුලෙ හිටියෙ නැත්තන් බනිස් ගෙඩි දෙක මට ආපහු ගෙනත් දෙන්න පුළුවන්ද? මන් මෙතන ඉන්නම් ටික වෙලාවක් " 

ඒ තාත්තා. 

අඩන්න ඕනෙද හිනාවෙන්න ඕනෙද කියලා නොතේරුන හින්දා ඇතුලට ගිහින් දුවට තාත්තා දුන්න ශොපින් කවරෙ දීලා ගේට්ටුව ලගට ගිහින් "දුන්නා" කියලා ආපහු හැරුනා. 

ඒ මනුස්සයා හුස්ම පාතට දාපු සද්දෙ අදටත් අමතක කරන්න අමාරුයි. 

ඊට අවුරුද්දකට පස්සෙ ඒ පළාතටම අපි යනවා. එතකොට අපිව බලන්න කලින් අව්රුද්දෙ  ඉගෙන ගත්ත ළමයි එනවා. එතන ගෑණු පිරිමි බේද නෑ. උන් හරි හිතවත් හින්දා. අර තාත්තගෙ දුව මතකෙ තිබ්බ හින්දා කොල්ලෙක් පැත්තකට කරලා අහලා බලනවා.

"එයාට දැන් බබෙක් ඉන්නව අයියෙ. ඕලෙවල් ඉවර වෙලා අන්තිම දවසෙම ත්‍රීවිල් අයියා කෙනෙක් එක්ක පැනලා ගියා. දැන් ඉන්නෙ තාත්තා එක්ක.ඉන්න තැනක් නෑ බැදපු එකාට"

එදා ඒ තාත්තට ඉස්කෝලෙට ඇවිත් මට කියන්න තිබ්බා  

"මගෙ දුව උදේ ආවා ඉස්කෝලෙ එනවා කියලා.ඒකි ඇතුලෙ ඉන්නවද නැද්ද කියලා පොඩ්ඩක් බලල කියන්න මහත්තයෝ.මට ඒකි ගියෙ කොහෙද විස්වාස නෑ" 

කියලත්. 

හැබැයි ඒ මනුස්සයා එහෙම නොකරන්න හේතුව ඒකිට එදා තේරුණානම්.ඒකි ඒ මනුස්සයාගෙ ජීවිතේම වෙන්න ඇති. 

ඒකයි මට හිතුණෙ පිය සෙනෙහසට කව් ගී ඕනෙ තරම් එදත් තිබ්බා මහ ගොඩක්, තැන් තැන් වල එක එක විදියට.

හැබැයි ගොඩක් උන් ඒවා කියවගත්තෙ නෑ.කියෙව්ව ගොඩක් උන් ඒවා හිතේ තියාගත්තෙන් නෑ.ඉතින් ලියලා වැඩක් වුණෙත් නෑ.

වීදි තාරුකා අද කතා නෑ

 දුරුත්තට පෙම් බැන්ද

දඩම්බර පෙම්වන්ත 

කම් කොහේ ගිහිල්ලද දන්නෙ නෑ

සෙල්ලමට හිත් කිව්ව

සල්ලමට හුරු වෙච්ච

වීදි තාරුකා අද කතා නෑ


කස්තිරම් කර ලාන

ඉස්තරම් සෙයිලමේ

රත්තරන් පරදාන විසිවුණා

හිත්ලාන අහුලාපු

ලෙල්ලමේ මුදලාලි

වීදියේ අගුපිලක හැන්ගුණා

හිතක් පියවර මනිනවා !!!

 

මුදු පුරඟනන්

රුදු හසඟනන් 

තව හීන අරගෙන එයිද මන්දා

හුරු පුරුදුකම්

මනමාලකම් මට 

ඔච්චමට හිනැහෙයිද මන්දා

විතක් මදු මී පිරෙනවා

හිතක් පියවර මනිනවා


රහස් කියවන

සහස් තොල්පෙති

නෙතු කතා රූ මවනවා

මටත් හීතල රහක් අරගෙන

විතක් මදු මී පිරෙනවා

හිතක් පියවර මනිනවා


බිඟුන් නලවන

රති රැඟුම්හල්

ආලවඩමින් අහනවා

අතක් දුරකින් හිතක් අරගෙන

විතක් මදු මී පිරෙනවා

හිතක් පියවර මනිනවා

උඹ මට හොරෙන් මහ හයියෙන් අඩන්නැතී

 ගොම මැටි අතුල පැල් හෙවණේ පිල් පැදුරේ

වස් කවියකට හූමිටි ඉකිබිදිනු ඇසේ

පන් කෙදි වලට අතැගිලි රහසකින් වගේ 

මුමුණනවාද මූසල ගොම්ම්මනද නගේ


ඉරුණත් උබේ හැඩ කම්බායටත් පැහේ

සළුපිළි හවඩි වල පුසුබයි තාම රැහේ

සිදාදියට රොන් පොදි පුරවාපු දොහේ

ගෝමර හසුන් මට තව හීතලට ඇහේ


කැන්දන් යන්න මට වාගෙම හිතෙන්නැතී

හිත කෑගහපු තරමක් ඇහිලවත් ඇතී

පෙර අත් භවේ පින් පුළුටක් තියෙන්නැතී

උඹ මට හොරෙන් මහ හයියෙන් අඩන්නැතී

Saturday, January 11, 2020

රාධා

හිමාලය මන් දැකලා නෑ. හිමාලය ලස්සන ඇති. හිමාලයෙන් පටන් අරන් ගලාගෙන යන ගගක් අයිනෙ සිද්දවෙන ප්‍රේම සම්බෝගයක්, එහෙමත් නැත්නම් ආදර හිතුවිලි එක්ක මුහු වෙච්ච සුන්දර ශාරීරික ගණුදෙනුවක රූපරාමු ඇස් ඉස්සරහ මවන පද පේළි ටිකක් හරි අපූරුවට ධම්මික බණ්ඩාරයන් ලියලා අමරසිරි පීරිස් ලයාන්විතයා එක්ක වසන්තා තිලකාංගනී ගායනා කරනවා. ඩැනිස්ටර් පෙරේරා වචන ටිකට දෙවනි නොවෙන්න ස්වර පුවරුව එහෙ මෙහෙ කරලා දෙනකොට හිමාලයේ යමුනා ගග අද්දර ඇලවෙන්න වෙන මොනවත් මොකටද.

හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා..
සුදු පෙණ කැටි බලන්න රාධා..
සුළඟ හමයි සීතල සාදා..
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා..

සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා..

ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...

මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා..

ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා..

හිම දියවී හිමාලයේ...


" හිම දියවී හිමාලයේ
යමුනා ගඟ නගයි තරංගා
සුදු පෙණ කැටි බලන්න රාධා
සුළඟ හමයි සීතල සාදා
සීතල ගිනි ගනීද ක්‍රිෂ්ණා "

 හිම දියවෙනවනම් ඒ සීත කාලේ ඉවර වෙලා වසන්ත කාලේ පටන් ගන්න යනවා වෙන්න ඕනෙ. ඔව් දියවෙච්ච හිම ටික යමුනා ගගට එකතු වෙලා හෙමින් හෙමින් පහළට ඇදෙනවා. කාලයක් තිස්සේ අමනාප වෙලා හිටිය පෙම්වතුන් දෙදෙනෙක් ප්‍රේමාලිංගනයකට සූදානම් වෙනවා. ඔව්. ඒ රාධා හා ක්‍රිෂ්ණ. ක්‍රිෂ්ණ බටලීයෙන් වහන් කරගත්ත රාධා එක්ක මහා ලොකු ප්‍රේමකතාවක් ගොඩනගන්න බලාපොරොත්තුවක් තිබ්බ පාටක් පේන්න නැති වුණත් රාධා ඒ වෙනුවෙන් වෙහෙසුන බව පසක් වෙන තැන් කොතෙකුත් හමුවෙනවා ගීත ගෝවින්දෙ එහෙන් මෙහෙන් හරි පෙරළෙනකොට.

යමුනා ගග අද්දර ගලක් උඩට වෙලා ඉඳගෙන බටලී වාදනය කරනකොට ඒ බටලී හඬට වශී වෙන්නෙ රාධා විතරයි කියලා විශ්වාස කළ යුතුද? බටලී හඬ අහගෙන ගග අද්දරට එන්න හුරු වෙන රාධා එක්ක ඇතිවෙන ලිංගික බැඳීම ආදරයක් වුණා හෝ නොවුනා එය අති සුන්දර අත්දැකීම් සමුදායක් එක්ක විමසා විඳින්න දේවල් ඉතුරු කරනවා, හරියට ඉස්කෝලේ කාලේ පන්තියේ එකට හිටිය එකියකට නොකියපු ප්‍රේමයක් වගෙ, එහෙම නැත්තන් ඉස්කෝලේ ගුරුවරියක් වෙනුවෙන් පහ හය වසරෙදි ඇතිවන ආදර හැඟීමක් වගේ,එහෙමත් නැත්තන් උදේ හවස නොදැක්කත් ස්වයන් වින්දන මාත්‍රාවකට උදව් දෙන එකියක් එක්ක හිතෙන් සිද්ධවෙච්ච යහන්ගතවීමක් වගේ. රාධා ඇවිත් යනකොට තව ගැටිස්සියො ක්‍රිෂ්ණ වෙනුවෙන් ඔය ගං ඉවුරට ආවා කියලා ආරන්චි වුණාම රාධා තීරණය කරනවා ක්‍රිෂ්ණගේ ඇසුරෙන්  මිදිලා යන්න.

එහෙම රාධා යනකොට ගං ඉවුරට එන අනිත් ගැටිස්සියන්ටත් රාධාට ලැබෙණ සුව පහස දෙනකොට එතන ආදරයක් තියෙනවා කියන එක පිලිගන්න අවසර තියෙනවද කියන එක ප්‍රශ්ණාර්ථයක්. මේ ගීතය එක්ක විඳින්න තියෙන ලස්සන අවස්ථාව උදාවෙන්නේ ක්‍රිෂ්ණා කාලෙකට පස්සෙ ආයෙත් රාධා එක්ක හාද වෙන්න තීරණය කරන ඇසිල්ලෙන්.ආදර කථාවක අති සුන්දරම තැනක් අහුවොත් මතක් වෙන්නෙම අමනාපවීමකින් අඬ දබරයකින් පසුව එලඹෙන මොහොතක්. මේ කථාකරන්නෙත් එහෙම කාලයක් පහු වෙලා එදා බටලී හඬ හොයාගෙන ඇවිත් ගතකරපු සුන්දර හෝරා අනන්තයකට වඩා උමතුවෙන් ක්‍රිෂ්ණා තමන්ගේ පෙම්වතිය විඳින මොහොතක්. 

එහෙම මොහොතක දැනෙන සීතල එක්ක තුරුල් වෙනකොට ක්‍රිෂ්ණා අහනවා සුදු පෙණ නගාගෙන යමුනාව ගලන හැටි ඔයාට පේනවද කියලා. එහම් අහනකොට රාධා දෙන උත්තරේ තියෙන්නෙම කාලයක් ඈතට වෙලා හිටියත් මට උඹ නැතුව උඹේ පහස නැතුව බෑ කියල නොකියා කියන ස්වරූපයක්. ඒකයි රාධා කියන්නේ සුළඟ හමනකොට මහා හීතලක් මට දැනෙනවා ක්‍රිෂ්ණා. ඒ හීතලත් එක්ක එදා වගේම අදත් අපේ ගත උණුහුම් වෙයිද, ඒ උණුහුමෙන් අපේ හිත් ගිනි ගනීද කියලා මට හිතෙනවා. ගඟක් අද්දර මල් යහනක ප්‍රේමවන්තයාට තුරුල් වෙලා ඉන්න ප්‍රේමවන්තියක් වෙන මොනවනම් කියන්නද මෙහෙම අහන්නෙ නැතුව.

" සිනා රැලි නගා උතුරණ
ඔය හදවත් නීල ජලාසේ..
පීණන මේ ස්වර්ණ හංසයෝ..
අකීකරුද මෙතරම් රාධා.."

හිනාවෙන් සතුටින් ඉපිළිලා තියෙන උබේ මේ හදවතේ සතුට මට තුරුල් වෙලා ඉන්න උබේ පපුව ගැහෙන රිද්මෙන් මට දැනෙනවා රාධා. එහෙම සතුටෙන් ආසාවෙන් ඉපිළිලා මගේ පහස හොයන උබේ පයෝධර මෙච්චර අකීකරු වෙලා ඇයි කියලා අහනකොට ලැජ්ජාවකුත් හිතෙන්න ඇති උඹට. ඒත් මට උබෙන් ඒක් දැනගන්නම ඕනෙ. හිනාවෙන් පිරිලා ඉතිරිලා ගිය සරාගී උබේ පයෝධර උඹටවත් කීකරු වෙන්නේ නැතිද රාධා? එහෙමනම් මන් මොකද කරන්න ඕනේ කියලා අහලා උබෙන් මන් අවසර ගන්නවද මන්දා. උඹ අවසර දෙයි කියලම හිතෙන හින්දා. 

"ඉඩ දී දෙන්නට දඩුවම්
දෑස පියා ගන්නම් ක්‍රිෂ්ණා.."

අකීකරුනම් දඩුවම් කරනවා ඇරෙන්න මොනවා කරන්නද ක්‍රිෂ්ණා. උබ කැමති දඬුවමක් දෙනකල් මන් මගෙ ඇස් පියාගෙන ඉන්නම්. අකීකරු ලැමට මූණ ඔබාගත්ත ක්‍රිෂ්ණා දෙන ඕනම දඬුවමක් විඳින්න ඇස් පියාගත්ත රාධාට ආයෙ ඇස් අරින්න හිතෙයි කියලා මට හිතෙන්නෙ නැත්තෙ ක්‍රිෂ්ණා කියන්නෙ කෝඩුකාරයෙක් කියලා පිළිගන්න සූදානමක් මගෙ හිතේ නැති හින්දා.

මල් පෙති පොඩි වෙලා ඉකිලන්න තරම් මේ ප්‍රේමවන්තයෝ ප්‍රේමාලිංගනයේ නොයෙදෙන්න හේතුවක් නැති කොට සඳ එළිය මිණිමෙවුලට වැටුන එක ක්‍රිෂ්ණා දකින්න නම්, ඒ එළියෙන් දෑස නිලන්කාර වෙන්නනම් පයෝධර පහස ලබපු ක්‍රිෂ්ණා මේ හෝපළු යහනේ ඉඳගෙන වෙන මොනවා කරන්නද

"මල් පෙති පොඩිවී ඉකිලන
මේ හෝපලු යහන් තලාවේ..
සඳ දිය මිණිමෙවුලට වැටිලා..
දෑස නිලංකාරයි රාධා.."

 රාධා මිණිමෙවුල පළඳින්න ඇත්තෙත් හැම ගැටිස්සියක්ම පළඳින තැනම විය යුතුම කොට ගිලිහී යන මිණි කැට ගැන රාධා මොකට හිතන්නද. ඒකයි රාධා 

"ගිලිහී ගියදෙන් මිණි කැට
දෑස වසා ඉන්නම් ක්‍රිෂ්ණා.."

කියලා ඇස් දෙක පියාගෙනම ඉන්න ඇත්තෙ, ක්‍රිෂ්ණාගෙයි රාධාගෙයි සුයාමයට ඉඩදීලා.




Friday, January 10, 2020

උන්දැ මග බලන්නැති හින්දා !!!

බණක් අහන්නට උන්දැට එන්නට මුන්දැලා දෙන්නැති හින්දා
උන්දැගෙ වගතුග අවසරටත් දැන් අමතක වෙලාද මන්දා
ඉස්සර පන්සල් එනකොට උන්දෑ කරඹ ගෙනත් දෙන හින්දා
බුදු කුටියට යන එන ගානෙම මම උන්දැගෙ වෙනුවට වැන්දා

මුන්දැලා දෙන්නා තුන් දෙනෙක්ලු දැන් වෙහෙරත් හදවන හින්දා
පන්සල් යන එන ගානෙම අවසර පිරිත් නූල්නම් බැන්දා
නූලක් බැන්දට සිල් පදයක්නම් මුන්දැලා කිව්වද මන්දා
අවසර කිව්වේ ආවසෙත් මුන් දෙන්නම හදයිද මන්දා

ගඩොල් බිත්ති කණු මෙච්චර ලොකුවට බුදුන්ට ඕනෙද මන්දා
අටපිරිකර කාමරයක් පිරෙන්න මොකට ගෙනාවද මන්දා
උන්දැට පෝයට සිල් අරගන්නට උතුරු සළුව ඇති හින්දා
ඊලඟ පෝයට උන්දැව එක්කන් එන්න බැරි වෙයිද මන්දා

සසරෙන් එතෙරට තනියම යන්නට මට හිත දෙන්නැති හින්දා
උන්දැත් තනියට එක්කන් යන්නට අවසර තියෙයිද මන්දා
වෙහෙරයි ආවාසෙයි අපෙ ගෙදරයි හිලව්වකට ඇති හින්දා
ඊලඟ පෝයට එක්කන් එනවද ඔන්න මන් උඹට වැන්දා

මාත් එක්ක මුළු පිරිත් පොතම හරි හරියට කියවන හින්දා
ඉස්සර වාගෙම අදත් මතක ඇති පිරිත් පොතට මන් වැන්දා
අවසරටත් අමතක තැන් උන්දෑ කොහොම කියනවද මන්දා
අවසර දීපන් පන්සල් එන්නට උන්දැ නිවන් යන හින්දා

Wednesday, January 1, 2020

නුවර මැණිකේ !!!


මහළු මඩමෙදි මට කියපු කවි - එදා උබ පුතුටත් කියන්නැති
කවි අහන් උබටත් හොරෙන් පුතු - ගුලි වෙලා හෙමිහිට නිදන්නැති
වලව්වේ උබෙ තිබුණා කියවුන - පඩික්කම දැන් විකුණලත් ඇති
පඩික්කම විකුණලා ලේලිට - රතු පලස් පාවඩ ගේන්නැති

වලව්වේ අලි පැටියනම් දැන් - මහා සද්දන්තත් වෙලා ඇති
නුවර පැත්තේ ගියත් දැන්නම් - ඌට උබ මතකවත් නැතුවැති
එහෙම කිව්වට ඌට මතකයි කියලා - උබ තව හිතාගෙන ඇති
ගාම්බීරලු උබෙ පුතා දැන් - ඌව මිදුලේ ගහක බැදලැති

පුතා ඇවිදින් ගියා කිව්වනෙ - බරට තෑගිත් ගෙනල්ලත් ඇති
හූල්ලන්නට දෙයක් කිව්වද - උබ හිතින් මට බනිනවත් ඇති
උබව දැක්කම එක්ක යන්නට - පුතුට නිකමට හිතෙනවත් ඇති
උබත් කිව්වෙ එහෙමමයි පුතුටත් - කරන්නට දෙයක් නැතුවැති

වලව්වේ මැණිකේ නිසා උබ - සාරියක් නැතුවම බැරුව ඇති
ඒත් මොනවා කරන්නද - අම්මේ මේක උබෙ කරුමෙ වෙන්නැති
චීත්තෙට තවමත් හැඩයි උබ - සාරියට තව හැඩට ඉන්නැති
ගිහින් එන්නම් මාත් අම්මේ - මගෙ පුතා මග බලාගෙන ඇති