Thursday, September 9, 2021

ලස්සන කඳු, අපි නෙමෙයි !!!

"උබේ පවුලෙ කීදෙනෙක්ද?"

"හත්දෙනයි මාත් එක්ක"

"උඹද වැඩිමල්?

"නෑ අයියට පස්සෙ මම"

"උඹගෙ අම්මත් ලස්සන ඇති, උබ වගේම"

"ඔව් ගිණි කිකිළි වගේ"

මුස්පේන්තුකමට එහෙම කියාගෙනම අඩියෙ ඉතුරු වෙලා තිබ්බ ටික ඒකි උගුරට හලාගත්තෙ ගමේ කසිප්පුකාරයෙක් වගේ. 

"අයිය උඹලට සලකන්නෙ නැද්ද?"

"මගෙන් කුණුහරප නාහා මහත්තයා ඉක්මණට ආව වැඩේ කරගන්නවද, මට යන්ඩ ඕනෙ හෙට පාන්දර ගමේ යන්ඩ තියෙනවා"

එතකොටත් අපි දෙන්නම ඇවිත් වැටුණ විදියටම හත් අටපොලකින් ඈඳිගෙන. එතනින් කතාව ඉවරයි, ටික වෙලාවකට. 

"කොහෙද ගම?"

මම එහම ඇහුවෙ සිවිලිමට යටින් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන.

"ඇයි එන්ඩද?"

පැය දෙක තුනකට කලින් පාළමට එහයින් වාහනේට නඟිනකොට මේකි මෙච්චර සැර නෑ.සල්ලි ටික මිට මොලවගෙන ගිහින් දිලිසෙන පර්ස් එකට එබුවට පස්සෙ ඒකිට ඕනෙ ඉක්මණට වෙන එකෙක් හොයාගන්ඩ. නැතුව ගමට යන්ඩ නෙමෙයි. 

"ඇත්තටම ගම කොහෙද?"

"බණ්ඩාරවෙල"

"ලස්සන පළාතක්නෙ"

"ලස්සන කඳු,  අපි නෙමෙයි"

"මට තේරුණෙ නෑ"

"මාව ගත්ත තැනට ගෙනිහින් දාන්න මහත්තයට පුළුවන්ද, නැත්තන් මන් වීල් එකක් අරන් යන්ඩද?"

"යමු"

මම හදිස්සියට ගලවලා දාපු සේරම ඇඳගන්න ඒකිට ගියෙ විනාඩි දෙකතුනයි. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එක එක ඒවා මූණෙ උලාගනියිද මේ යන්නෙ පාන්දර ගෙදර යන්න ඕනෙ කියලා නිදාගන්නනම්. 

"එහෙනම් මම බහින්නම් මහත්තයා. ආයේ හම්බෙන්න ඕනෙ වුණොත් සතියකට පස්සෙ මේ හරියෙ මම ඉන්නවා. "

"නම්බර් එක දුන්නනම් ලේසියි"

"හෙට උදේට මහපාරෙදි මහත්තයා හම්බ වෙලා මන් මහත්තයට කතාකරොත් නිකමටහරි, මගෙ නොම්බරේ මහත්තයම මට කියලා දෙයි ." 

කියලා ඒකි හිනා වුණා, මුස්පේන්තුවට නෙමෙයි.පපු කැවුත්තෙන්ම මයෙ හිතේ.

"මම එහෙම නෑ"

"රැට මොකෙක්වත් එහෙම නෑ මහත්තයො"

මම හිතුවෙ එතනින් අපේ කතාව ඉවරයි කියලා. සිග්නල් එක දාලා වාහනේ පාරට හරවන්න හැදුවෙ හිස් අතින්ම ගෙදර යන්න. ආයෙත් වීදුරුවට තට්ටු කරනකොට වීදුරුව පාත් කරේ හිස් අතින් ගෙදර ගිහින් මොකටද කියලා හිත හිත.

"මහත්තයා, අර කියපු අයියා, සලකනවා . මට නෙමෙයි, අපෙ  අම්මට. අපෙ පොඩිම එකී උගෙ."

"මට තේරුණේ නෑ"

"ඌ කසිප්පු විස වෙලා මැරිච්ච අපෙ තාත්තගෙ කලින් ගෑණිගෙ."

එතකොටම මොහිදින් බෙග් හීනියට පටන් ගත්තා,

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ....."

0

අමාවක

 ඉතින් සොඳුර

සඳ කොයිබද

මටත් වඩා

ලඟට වෙලා

නුඹේ සුසුම් 

විඳිනවාද

ඉඳලා හිටලා

අඬනවාද

මටත් වඩා 

දැනෙනවාද

මට නිකමට 

කියනවාද

අමාවකට වත් 

එපාද

~~ මයෝ ~~

වෙඩිමක් ශුවර් නෑ කොටහළු ගේ ගත්තා !!!

කොල්ලට දාසයයි කෙල්ලට දාහතරයි

ෆෝන් එකට කෙල්ලගෙ හැටහත්දාහයි

අප්පගෙ පඩිය මාසෙට විසිතුන්දාහයි

කාඩ් වලට කෙල්ලට දවසට දාහයි


අම්මා සව්දියේ අවුරුදු පහමාරයි

උන්දැගෙ කතා අප්පගෙ හදවත පාරයි

ආගිය කතාවල අප්පත් මනමාළයි

දුම්මල ගෙදර උන්දැට දැන් බර සාරයි


දුව හරි හැඩයි දඟකාරයි කටකාරයි

ගෙට වෙන දවසෙ ඒකිට දහතුනමාරයි

කොටහළු ගෙදර දා ගමටම සිරියාවයි

ඉස්පීකර් වල දඩි බිඩි හඬ මාරයි


ප්ලේට් එකට හයසිය පනහක් ඇතිලූ

ගෙදර උයන එක හරි කොලිටිය නැතිලූ

බයිට් ටිකයි බෝතල් ටිකකුත් ගමුලූ

නැත්තන් ගමේ මාමලා බැන බැන යයිලූ


උත්සවයක්නෙ මලගෙදරක් නෙමෙයිලූ

ගමටම කිව්වෙ නැත්තන් හරි නැහැයිලූ

සවුදියෙ ඉඳන් එනකොට හරි ටයර්ඩ්ලූ

ටැක්සියෙ අයියනම් හොඳටම හොඳයිලූ


කෙල්ලගෙ මූණ සුදු පාටයි රෝස ටිකයි

අම්මගෙ මූණ සුදු පාටයි රතු පාටයි

අප්පගෙ මූණ නිල් පාටයි වෙරි පාටයි

හවස් වෙද්දි සේරම වැඩ හරි පාටයි


නැන්දලා මාමලා ඇවිදින් යන ගානේ

දණ ගහ ගහා වදිනව නිවනක් නෑනේ

කොණ්ඩෙත් කඩලා පාටත් උලලා මූණේ

සව්දියෙ රස්නෙ වැදිලා අඩියක් ගානේ


හවසට එන්නෙ අම්මගෙ හිතවත් අයලූ

කේටරින් එකේ අයියත් එනවාලූ

ඉමෝ එකෙන් ඇරයුම්පත් බෙදුවාලූ

කෝල් එන්නෙ දවසම ඒ අයගෙන්ලූ


ගමටම තුන් දෙනයි ටියුශන් එකේ එකයි

දහම් පාසලේ ඉරිදට එකම එකයි

යන එන ගමන් පාරෙදි කොන්දොස්තරයයි

බෑන්ඩ් එකේ අයියයි හරියටම හතයි


කෙල්ලට විසේ හෙනහුරු අපලය හින්දා

මන්තර පාටියක් ගිය මාසෙත් ගත්තා

ත්‍රීවිල් බයික් එහෙ මෙහෙ කැරකෙන හින්දා

වෙඩිමක් ශුවර් නෑ කොටහළු ගේ ගත්තා

තට්ටෙ ගාලා ශේව් කරපු සාධුලාට මම වැන්දා !!!

 සීය මැරිලා තුන් මාසෙට දවස් තුනයි තියෙන්නේ

හතර වරිගෙ නෑ පිරිවර මහ ගෙදරට ඇදෙන්නේ

හත් දවසට වඩා ජයට මේක ගන්ඩ හදන්නේ

අත්තම්මගෙ පර්ස් එකට තමයි හෙමින් විදින්නේ


සීයට තැන තැන වතුපිටි කසු කුසුවක් ඇහෙන්නේ

බැංකු පොතේ සල්ලි වලට දැන් මොනවද කරන්නේ

පිනට දෙන්න මගේ හිතේ අත්තම්මා හිතන්න්නේ

පිස්සු නේද මේ ගෑණිට මාමණ්ඩිලා කියන්නේ


ඉස්පීකර් පහක් හයක් ගෙදර වටේ බඳිමු නේද

කහ බතකුයි කට්ලට් මස් බණ දවසට තියමු නේද

පනස්දාහේ මණ්ඩප්පෙ ගහලා ලයිට් දාමු නේද

ඉකෝ දාලා පිරිත් කියන කොල්ලො ටිකක් ගේමු නේද


දානෙ දවසෙ හවසටනම් බොන්න ටිකක් දෙන්න වේවි

හොටෙල් එකෙන් බයිට් ටිකත් අරන් එන්න ලේසි වේවි

බෝතල් ටික ලොකු අයියා අඩුවට හෙට අරන් ඒවි

ඔය කිව්වට බියර් ටිකක් නැන්දලටත් බොන්න වේවි


අර රැව්ල වවපු හාමුදුරුවෝ සීලවන්ත නැති හින්දා

තට්ටෙ ගාලා ශේව් කරපු සාධුලාට මම වැන්දා

එහෙම කියපු ඉතාලියේ ලැට් හෝදපු පොඩි නැන්දා

සීය මැරිලා හත් දවසෙන් තුන්වෙනි පාරට බැන්දා


සීයට වඩා වැදගත් අය කවුරුවත්ම නැහැයිලූ

ඉස්පිරිතාලෙදි බලන්න ආවෙ නැත්තෙ බිසීලූ

මරණ ගෙදර දා ආවෙත් හරිම අමාරුවෙන්ලූ

පොඩි පුතාට සීයගෙ දේපල චුට්ටක් ඇතියිලූ


සාමණේර හාමුදුරුවො තේරුමක්ම නෑ අම්මේ

හාමුදුරුවො පණහක්වත් වඩම්මවා ගමු ගැම්මේ

නැන්දල ටික හරි හරියට ප්ලෑන් කරනකොට පිම්මේ

අත්තම්මා උතුරු සළුව හෝදලා අව්වට දැම්මේ


එහා ගෙදර එකට වඩා අපි ලොකුවට ගන්ඩ ඕනෙ

හාමුදුරුවො සේරටෝම අටපිරිකර දෙන්ඩ ඕනෙ

අත්තම්මව හෙට උදේම බැංකු එක්ක යන්ඩ ඕනෙ

අද නැත්තන් හෙට මොකටද පොත හූරලා ගන්ඩ ඔනෙ


දරු රෑනම එක පාරම ගෙදර ඇවිත් හින්දා

අත්තම්මා එකතු කරපු සල්ලි කැටෙත් බින්දා

ඉඩම් ටිකත් යන්න කලින් සීයා බෙදපු හින්දා

අත්තම්මා පහන තියලා බුදු සාධුට වැන්දා 

ළමයි තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක් නේද? ලැජ්ජ නැද්ද මිනිහෙක් එක්ක මෙහෙම නටන්න ?

 "ඔයා කීයටද මාව ගන්නෙ?"

"මම හරියටම පහයි තිහ වෙද්දි එන්නම් ඔෆිස් එක ලඟට. තවම ඉන්නෙ කටුනායක"

ඉස්සරනම් ඉස්කෝලෙ ලඟට වෙලා,නැත්තන් ටියුශන් එක ලගට වෙලා පැය ගණන් හිටගෙන ඉඳලා එයා එළියට එනකොට මම හෙම්බත් වෙලා. ලෝකෙටම හොරෙන් ලියපු ඒ ආදර කතාවට අදත් මම පිස්සෙක් වගේ ආදරෙයි. එයාගෙ අම්මා තාත්තා එයාව මගෙන් ඈත් නොකරන්න අපිට මෙහෙම තීරණයක් ගන්නවත්, මට කාන්තාර වල කඹුරන්න වෙන්නවත් නැතිවෙන්න තිබ්බ ඉඩ වැඩියි. ඒත් ඒක තමයි උරුමෙ කියලා අපි හිත හදාගත්ත වාර අනන්තයි,ඈතට වෙලා.ඒක අපි දෙන්නටම නොරහසක්. 

අපි ඈත් වෙලා දැන් අවුරුදු හතරක්. ඒ ඇස් දෙක මගෙ ඉස්සරහ තියෙනවා දකින්න,ඒ ඇස් දෙකේ මන් වෙනුවෙන් පිරුණු ආදරේ හොයන්න ,පොඩි කෙල්ලෙක් වෙලා මගෙත් එක්ක හුරතල් වෙනවා විඳින්න අපිට ඈත් වෙන්න වුණ දවසෙ ඉඳන් අපි දෙන්නම ඇඟිලි ගණිනවා, අද වෙනකල්ම.

අන්තිමට අද ඒ දවස ඇවිත්.හරියටම පහ වෙද්දි මම එයාගෙ ඔෆිස් එක ලඟ.කාලෙකින් අපි අපේම වෙලා ඉස්සර වගේ ආදරෙන් හුරතල් වෙවී ඉන්න යොදාගත්ත ගමනට තව පැය බාගයයි. 

"මම ඇවිත් ඉන්නෙ"

"හරි පැටියො.මම එනවා"

ටික වෙලාවකින් ඔෆිස් එකෙන් එළියට ඇවිත් වාහනේ දිහාවට ඇවිදන් එනකොට මට ඇස් අහකට ගන්න හිතක් නෑ. ටැක්සියෙ ඩ්‍රයිවරුත් එයා දිහා නොබැලුවා කියලා මම හිතන්නෙ නෑ. මට ඒක පොඩි ආඩම්බරයක් වගෙත් දැණුනා. ගෙවල් හදලා, ළමයි හදලා, උන්ට උගන්නලා රස්සා කර කර දහදුක් විඳින්න ඕනෙ ගෑණියෙක් නෙමෙයි එයා.එහෙම දුක් වින්දත් ඉස්සර වගේමයි ඒ ලස්සන.තනියම කල්පනා කරේ මට ඒකට කරන්න කියලා දේකුත් ඉතුරු වෙලා තිබ්බෙ නැති හින්දා.

"එයා මේ ලෝකෙ ලස්සනම ගෑණි නෙමෙයි.හැබැයි එයා මේ ලෝකෙ ලස්සනම ගෑණුන්ගෙන් කෙනෙක්"

මගෙ හිත එහෙම කෑ ගහනවා.

නුවරඑළියට යනකල් අපි මහ ගොඩක් දේවල් කතාකලේ නෑ.මම එයාගෙ ලස්සන බල බල හියා විතරයි.සමහරවිට මම නරුමයෙක් වගේ එයාව රසවින්දා කිව්වොත් වැරදි නෑ. අවුරුදු හතරකට කලින් අපි ඈත් වෙලා යනකොට හිටියට වඩා මෝරලා හිටියත් ඒ ලස්සන වැඩි වෙලා මිසක් දශමෙකවත් අඩුවක් වෙලා නෑ.

"මොකද මෙච්චර හදිස්සි?"

"ඔව් මට හදිස්සියි.ඇයි ඔයාට හදිසියක් නැද්ද?"

"මට ඔයාට වැඩිය හදිස්සියි"

අපි කතාකලේ එච්චරයි. අවුරුදු ගාණක් තිස්සෙ හිතේ හිර වෙලා තිබ්බ ආදරේ එක්ක එයාගෙ උණුහුම හොය හොය ඉඳලා අපි දෙන්න විතරක් බිත්ති හතරක් අස්සෙ තනි වුණාම මොනවා කියලා කතාකරන්නද. 

ඇත්තටම මට හිතාගන්න බෑ මේ ඉන්නෙ ඉස්සර මන් ඉස්සරහ ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටිය ඒ පොඩි කෙල්ලමද කියලා.

"ළමයි තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක් නේද? ලැජ්ජ නැද්ද මිනිහෙක් එක්ක මෙහෙම නටන්න ?"

මම එහෙම ඇහුවෙ ගුරු පාටට හුරු සිවිලිම දිහා බලාගෙන හිනාවෙවී.

"කසාද බැඳපු මිනිහෙක් නේද? ලැජ්ජා නැද්ද ළමයි ඉන්න ගෑණියෙක් එක්ක හෝටල් ගානෙ රිංගන්න? ඒකත් රට ඉඳන් එන ගමන් ගෙදරවත් නොයා"

එයා එහෙම ඇහුවෙ එයා මේ ලෝකෙ ආසම කරපු පපුවට හරියටම අවුරුදු හතරකට පස්සෙ මූණ ඔබාගන්න ගමන්.

අපි දෙන්නම හිනාවුණා.මහ හයියෙන්. ටිකකින් පපුව තෙත් වෙනව දැනුණත් මම නොදන්නවා වගේ උඩ බලාගෙන හිටියා. 

අපි එහෙමම පැයකට වඩා ඉන්න ඇති මයෙ හිතේ.එයා බෙඩ් ශීට් එක ඇඟේ ඔතාගෙන නැගිට්ටෙ රින්ග් වෙන ෆෝන් එක ගන්න.

"අම්මෙ , ඔයාගෙ පිටරට ඉඳන් ආව ආදරවන්තයා එක්ක සතුටු වෙලා ඉවරනම් හෙට කීයටද ගෙදර එන්නෙ කියනවද?"

කියලා තරහින් වගේ අහන්නෙ එයාගෙ ලොකු දුව. 

ඉස්පීකර් ඔන් කරලා ෆෝන් එක ඇඳේ අපි දෙන්න මැද.

"හත්දෙයියනේ, දුව කොහොමද දන්නෙ මම ඔයා එක්ක ඉන්නෙ කියලා"

නෑ. එයා එහෙම කිව්වෙ නෑ. 

"ඔන්න තාත්තා ඉන්නවා.එයාගෙන්ම අහගන්න. හෙට ගෙදර එනවද,නැත්තන් එයාගෙ ආදරවන්තිය එක්ක තව දවසක් සතුටු වෙලාම එනවද කියලා "

"අපි හෙට රෑ කෑමට ගෙදර එනවා පැටියෝ."

කියලා මම අපේ දුවට කිව්වා.

ඌ උගෙ අප්පගෙ කපාපු පළුව !!!

වෙල් යාය මැද ඇහෙන බටනළා සද්දෙ මට නුපුරුදු නෑ. අවුරුදු පහ හයකින් බටනළාවක් අල්ලලා නැතත් වෙල් යාය මැද තිබ්බ ගල් පොත්තට ගොඩ වුනේ ඒ සද්දෙ ඇහෙනකොට මඟ ඇරලා යන්න හිත හදාගන්න බැරි හින්දා.

ඉස්සර මම හවසට බටනළාව අරන් වැවේ කුඹුක් ගහට නැග්ගම හවස් වරුවම ගමම විඳින්නෙ මගෙ බටනළාවෙන් වෑහෙන රහ. අපි ආදරේ කරේ හරි ලස්සනට. එක සින්දුවකට නෙළුම් මල ගානේ මට හම්බුනා කුඹුක් ගහේ අත්ත උඩට. සින්දු සේරම ඉවර වෙලා ගොම්මන් වේගෙන එනකොට ආයෙත් නෙළුම් මල් මිටියම ඒකිට තෑගි කරල අපි ගෙවල් වල ගියා. පහුවදාට ඒකි නෙළුම් මල් කඩාගෙන බලන් ඉන්නවා,මම එනකල්. නෙළුම් මල් කඩාගෙන සින්දු අහන්න එන යන ගානෙ අපිට තුරුල් වෙන්න කුඹුක් ගහ ඕනෙ තරම් ඉඩ හදලා දුන්නා, කිසි ලෝබකමක් නැතුව අහක බලාගෙන. මඩේ බැහැලා නෙළුම් මල් කඩාගෙන ඇවිත් තුරුල් වෙලා ඉන්නකොට එන සුවඳ වෙලේ බැහැලා ගොයම් අදිනකොට ගොයම් මිටිය උස්සන ගානෙත් මම වින්දේ අත්තම වරද්දන්නෙ නැතුව කුඹුරට බහින්න මට හේතු ඕසෙට තිබුන හින්දා. මගේ ඔළුවට උස්සන ගොයම් මිටිය කමතට ගේන පමාවට ආයෙ හැරුනෙ ඒ සුවඳ තව පාරක් විඳගන්න ලෝබ හිතුණ හින්දා. 

අපේ ඇයි හොඳැයියට සාක්කි දෙන්න ගමේ ගහ කොල ඕසෙට. වැව් ඉස්මත්තෙදි අපි අන්තිමට මුණ ගැහුණ දවසෙ නෙළුම් මල් හම්බුණෙ නෑ මට.ඒකි ආසම සින්දුවටවත්. එදා මට ඉල්ලන්න ඉඩක් නොතියාම ඒකි මට හැමදේම දුන්නා. දිල වැලහින්නක් වගේ අඬ අඬ 

"මාව කැන්දන් යන්න හෙට මනුස්සයෙක් එනවා, උබ මට වයිර බඳින්න එපා"

කියද්දි කුඹුක් අත්තක් වැවට වැටුණෙ මාත් එක්ක අඬන්න කුඹුක් ගහ ලෑස්තියි කියල මට කියන්නද කියලා මට හිතුණ.

එතකොටම බටනළාවෙ සද්දෙ නැවතුණා. 

"බටනලා ගහලා ඉවරද?"

"අදට ඇති"

කියාගෙන ඒ පොඩි කොල්ලා ගල් පොත්තෙන් බිමට පැන්නා. 

"උඹ කැමතිනම් මට පුළුවන් තව ලස්සන සින්දුවක් දෙකක් උගන්නන්න"

"ඇත්තටමද? මේක ඉගැන්නුවේ අම්මා. එයා මීට වඩා දන්නේ නෑ"

"මම කියල දෙන්නම්"

"එහෙනම් යන් අපේ ගෙදරට, දැන් රෑ වුණා, නැත්තන් අම්මා බනී"

මම ඒ පොඩි කොල්ල එක්ක කියව කියව නියරවල් දිගේ ඇවිත් පොඩි බඩවැටියකින් ගොඩ වෙලා වරිච්චි බිත්ති බැඳපු පොල් අතු හෙවිලි කරපු පැළට ගොඩ වෙද්දිම 

"හත්තිලව්වේ"

කියාගෙන පිල උඩට බර දීලා ඒකි හූල්ල හූල්ල වැළපෙන එක අරුමයක් නෙමෙයි. මිදුලේ අයිනක තිබ්බ කොට කෑල්ලට බර දීලා මම බලාගත්ත අත බලාගෙන හිටියා. 

"උඹ කොහෙද මෙහෙ මගෙ දෙයියෝ? මොකදෑ මේ උඹේ හැටි? රැව්ල් වවාගෙන කොණ්ඩ වවාගෙන වැරහැලි ඇඳගෙන මොකද මේ උඹට වෙලා තියෙන වින්නැහිය දෙයියෝ?"

හුල්ලලා හූල්ලලා අන්තිමට අහපු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මට හයියක් නෑ. 

"උබ මාව අඳුනගත්තද මයෙ මැණිකෙ?"

මට අහන්න පුළුවන් වුණේ එච්චරයි. 

"ඔය රැවුල් ගස් පහ හයකට උඹ මගෙන් හන්ගන්ට බෑ මයෙ දෙයියෝ"

එහෙම කියාගෙන ඒකි චීත්තෙ පොටක් අරගෙන කදුළු පිහගත්තෙ මොකක්දෝ මතක් වෙලා වගේ. 

"උඹට කහට කෝප්පයක් ?"

"එපා මයෙ මැණිකෙ, මම යන්නම්. පොඩි එකාගෙ බටනලාව අහගෙන මන් මේ ආවෙ. මයෙ මැණිකෙ ආසම සින්දුව"

"මට පුරුද්දට ගිය සින්දුව"

"ඔව් ඒක ඇත්ත. ඒ ඒකිට පුරුද්දට ගිය සින්දුව"

"උබ කොහෙ යන ගමනද මේ?"

"මම සයිමව තොලොන්චි කරල අච්චු ඇදලා එනගමන. මහත්තයෙක් රස්සාවට එන්ඩ කියලා එහෙ යන ගමන"

"හත්වලාමේ, මට හදපු කතාවට පස්සෙ සයිමා වැවේ ගිළුණා කිව්වම මට හැක හිතුණා. " 

"ඒ මට උඹ වෙනුවෙන් කරන්න තිබ්බ අන්තිම හරිය මයෙ මැණිකෙ. මම ගොහින් එන්නම්"

කියාගෙන කොට කෑල්ලෙන් නැගිටිනකොට පොඩි එකා ඉස්සරහට ඇවිත්,

"එතකොට මට සින්දු පුරුදු කරන්නෙ නැද්ද?"

"මම වෙන වෙලාවක එන්නම්කො මයෙ පුතේ, දැන් සුනංගු වුනා"

කියාගෙන මම යන්ඩ හැරෙද්දි

"ඌට ආයෙ අමුතුවෙන් උගන්නන්ඩ සින්දුවක් නෑ මයෙ දෙයියෝ. ඌ උගෙ අප්පගෙ කපාපු පළුව"

"හත්තිලව්වේ උඹ මේ කියන්නෙ .."

කියාගෙන ආපහු හැරෙනකොට ඒකිගෙ ඇස් වල මන් අහන්න හැරුණ උත්තරේ ලියලා තිබුණා.

"වාහෙ කඩමණ්ඩියට ගිහින් දැන් එනවා ඇති, කොල්ලගෙ හැඩ හුරුව උබේ රැවුල් ගස් වලට වැහෙන්න නැති කොට මට සමාවෙලා පය ඉක්මන් කරපන් මයෙ දෙයියෝ."

කුඹුක් ගහ වැව ලඟ තවමත් ඉන්නවා, වැව දිහා බලාගෙන. 

~~ මයෝ  ~~

හනිමූන් එක ගියා නැගලා !!!

ප්‍රී ශූට් එක කරලා

ගාලු කොටුවෙත් ෆොටෝ ගහලා

ඒකි උස්සන් ඉඳලා

නිදාගත්තේ තෙලුත් ගාලා


හතර වරිගෙට කියලා

බලුප් වැල් මල් වෙඩිත් තියලා

කේටරින් හෙම හොයලා

කිලෝ දහයක් කජුම උයලා


වෙස් නැට්ටුවොත් නටලා

බෙරේ තාලෙට බල්ටි ගහලා

බෝතල් තුනක් බීලා

පිරිත් කිව්වලු ඊයෙ ඉඳලා


පෝරුවට අපි නැගලා

බහින ටිකටත් නැකත් බලලා

පොලේ කුඩු වෙන්න කොටලා

මාමා කිව්වේ සුබයි කියලා


ඩ්‍රයි අයිස් කැට දාලා

වතුර දැම්මම බෝස් ගාලා

දුම් කඩාගෙන හැලිලා

දොලොස්දාහක බිලක් දීලා


සප්‍රයිස් එක කියලා

සින්දු දාගෙන නටලා

රෙදි කඩාගෙන වැටිලා

හදන් එනකොට මටත් පෙවිලා


මේස ගානෙම ඇදලා

බදාගෙන එක එකා ඉඹලා

අහවලා මේ කියලා

කොන්ද රිදෙනවා වැඳලා නැමිලා


බාර දෙනවා කියලා

රටේ නැති බොරු කියලා

ඉස්තූතියත් කරලා

ආවෙ හතරයි කාල බලලා


වතුර විදුරක මලුත් දාලා

බදාගෙන ආයෙමත් අඬලා

ආවෙ බෑ බෑ කියලා

හනිමූන් එක ගියා නැගලා


එහා වත්තට ගිහින් ඇවිදින් 

අපේ ගෙදරම බල්ලා

හිනාවෙනවා හොරෙන් බල බල

උඹ වගේ බූරුවෙක් කියලා

Friday, April 23, 2021

බැන්ඳට වඩා ලාබයි හඳපාන මට !!!

 මාලෙට ලක්සයයි ගවුමට හැටදාහයි

සාරියෙ වැඩ වලට විතරක් විසිදාහයි

ඇඳගෙන එද්දි එළියට හැටපන්දාහයි

නිදිමත නැද්ද ඔරලෝසුව පහමාරයි


පෝරුව උඩදි සුදු පිරුවට ඔතන්නට

බෙර ගහ ගහා වෙස් නැට්ටුවො නටන්නට

හසරක් නැතුව මන්තර ජප කරන්නට

තිස්පන්දාහකට ලාබයි උඩින් මට


මාසෙක ඉඳන් ලාබෙට බෝතල් හෙව්වා

යන එන ගමන් තුන හතරක් මම බිව්වා

කටගැස්මටත් වෙනමම පනහක් ගෙව්වා

වීදුරු වලට ඕසෙට සමහරු පෙව්වා


ගස් ලබු ගෙඩිය එක එක ආරට කපලා

පැණි කොමඩුවට දෙන වද තිස්දෙක දීලා

හැඳි ගෑරුප්පු වතුරත් ලගටම තියලා

හත්දාහකට ලාබයි ඌරත් උයලා


හන්තානේලු මදුසමයට හොඳම තැන

නුවර එළියටලු යන්නෙ දෙවනි දින

ෆොටෝ අරන් හග්ගල ඔය තැනින් තැන

බිල් වල ගණන් මොකටද යන එන ගමන


ගවුමේ උඹේ පොඩි ඇදයක් වගෙ තිබුණා

කජු මාලුවේ හොඳි වැඩි ගතියක් පෙනුණා

විදුලි බුබුළු මදි ගතියක් වගෙ දැනුණා

එහා ගෙදර නැන්දා මුමුණනු ඇසුණා


දුම් දාගෙන කිරි කළයක් හලන්නට

කිරිබත වටේ තනි තරුවක් තනන්නට

කුල්ලයි කැවිලි දහපහළොව ගෙනෙන්නට

හත් අට වතාවක් යන්නට වුණා මට


පිටරට විස්කි බෝතල් කැටි පෙව්වාට

එක එක ජාති මස් පොට්ටනි කැව්වාට

ආගිය එවුන් පම්පෝරිය ගැහුවාට

බැන්ඳට වඩා ලාබයි හඳපාන මට !!!

Thursday, April 15, 2021

ඒ ඒකිගෙ මිනිහා

 මන් ඒ වෙනකල්ම හිතුවෙ නෑ ලක්ශ ගානකට වඩා බර ගෑණු පන්සීයට දාහට විකිණෙන්න බලන් ඉන්නවා කියලා, මේ වෙරළ අයිනෙ පාරෙ.

ඉතුරු නැති වෙනකල් බෙදාගෙන,බෙදන්න බැරිම ටික අපි දෙන්න මැද ටින් එකේ. 

"බීපන් ..."

අවසර ලැබුන ගමන් කටට හලාගන්නකොටම 

"මටත් තව ටිකක් තිබ්බනම්.."

ඒ අන්තිම ටික ඒකි බිව්වෙ ටින් එකෙන් නෙමෙයි. එහෙව් එකේ ආයෙ මොකටද හපන්න දෙයක්. 

අපි එතකොට අපේ යටගියාව ඇති වෙන්න තලු මරලා.

" ඕනෙනම් බොන්න තිබ්බනෙ"

"ඕනෙ ටික තමයි බිව්වෙ"

"උඹට වෙරි"

"බොන්නෙ වෙරි වෙන්ඩම නෙමෙයි,උබ බොන්නෙ මොකටද?"

"මම තරම් දුක් විඳින මිනිහෙක් උබට හොයාගන්න වෙන්නෙ නෑ.ඒ දුක අමතක වෙන්නෙ මෙහෙම වෙලාවක විතරයි.වෙරි වුණාම මට මුකුත් මතක නෑනෙ.මන් බොන්නෙ ඒකයි"

ඒකි කටකොණින් හිනාවුනා විතරයි. 

අපි පැය එක හමාරකට වඩා මුහුද දිහා බලාගෙන, ඉඳගද්දිම බන්කුව මැදින් තියාගත්ත සිගරට් පෙට්ටි දෙකෙන් එක එක අරන් පත්තු කරේ උවමනාවකට නෙමෙයි.

"අපි යනවද?"

"කොහෙද?"

"උබ මෙච්චර දුරත් ඇවිත්,වෙරළ දිගේ පයිනුත් ඇවිත්, හොයපු සැප විඳින්න, උබේ කාමරේට"

"අපි මෙතන එළිවෙනකල් ඉන්නවට උබේ අකමැත්තක් නැත්තන් මට තව බියර් ටිකක් ගෙනාවැහැකි, කන්න මොනවහරිත් එක්ක"

"උබ මට කීයක් ගෙවනවද එළිය වැටුනම?"

"උබට කීයක් ඕනෙද?"

"ඔය ඉස්සරහා ටැක්සි බයික් එකේ ඉඳගෙන සිගරට් එක බොන එකාගෙන් අහලා වරෙන්"

"ඒ මොකටද උගෙන් අහන්නෙ?"

"ඌ ඔය සිගරට් එකයි බියර් එකයි ගත්තෙ උබට කලින් ආව එකා දුන්න පන්සීයෙන්. ඇත්තටම ඌ දාහක් දුන්නා. මන් පන්සීයක් බ්‍රා එක අස්සෙ ගහගත්තා, කාමරේදිම,මේ බලපන්" 

ටී ශර්ට් එක පාත් කරපුවම බ්‍රා එක අස්සෙ උන්ඩි වෙලා තිබිච්ච සල්ලි කොළයක් පෙනුනා ලාවට වගේ.

ඒකි බොරු කියන්නෙ නෑ.මට විස්වාසයි. ඒ ඒකිගෙ මිනිහා.

පත්තු කරගෙන හිටිය සිගරට් එක බිබී මම තනියම කාමරේට ආවා.

~~ මයෝ ~~

විහාරයේ විලාපයක් !!!

විහාරයේ විලාපයක්

අතුරු සිදුරු නැති සෙනඟක්

හීන්සැරේ බෝ මළුවට

කඳුළු වැටෙනවා

යකඩ කටෙන් එහා ගමට

පිරිත් කියනවා


මහ මළුවට ගිහින් ඇවිත්

සිල් රෙද්දට කර තියාන

ගං තුලානෙ කසු කුසු

සව් දියට පුරනවා

හීන්සැරේ බෝ මළුවට 

කඳුළු වැටෙනවා

යකඩ කටෙන් එහා ගමට

පිරිත් කියනවා


අටපිරිකර මල් පළතුරු

බුරුතු පිටින් හිස තියාන

එහෙටත් නැති මෙහෙටත් නැති

හිමිට වඳිනවා

හීන්සැරේ බෝ මළුවට

කඳුළු වැටෙනවා

යකඩ කටෙන් එහා ගමට

පිරිත් කියනවා

මාව ඇඳට එක්කන් යනවද මහත්තයෝ, වඩාගෙන

මම බෑග් එකත් අරගෙන රූම් එක ඇතුලට එනකොට බාත් රූම් එකේ දොර අඩවල් කරලා. එහෙමම ඇතුලට එබිලා බලලා බෑග් එක ඇඳට එහයින් තිබ්බ පොඩි මේස කෑල්ලෙන් තිබ්බා. ශවර් එක ඇරලා වතුර ගලන සද්දෙට මට තවත් බලන් ඉන්න බැරි තැන හෙමින් අඩවල් කරලා තිබුණ දොර ඇරගෙන බාත් රූම් එක ඇතුලට ගියෙ ඉබේටම වගේ. 

ඇත්තටම එයා ලස්සනයි. අපි පළවෙනියටම දැකපු දවසෙ ඉඳන් මේ වෙනකල්ම මට ඒ ලස්සනේ අඩුවක් පෙනිලා නෑ. මම මුලින්ම එයාව තුරුල් කරගෙන ඉඹිනකොට එයා කලේ මගෙ පපුවට තද වෙලා අඬපු එක. එදා ඉඳන් අද වෙනකොට අපි සෑහෙන දුරක් ඇවිත්. අද මන් එයාව ඉඹිනකොට එයා අඬන්නෙ නෑ. මාත් එක්ක හුරතල් වෙනවා මිසක්. මූණට වැටිලා තිබුණ කොණ්ඩ ගස් දෙකතුන කණ්ණාඩියට හොරෙන් උඩට දාගෙන සින්ක් එකට බර වෙලා එයාගෙ ලස්සන බලනවා. අවුරුදු පහකට විතර කලින් මම දවසක් මේ විදියටම එයා දිහා බලාගෙන හිටියා. එදා එයා ඇඳගෙන ඇවිත් හිටියෙත් විනිවිද පේන කොට ගවුමක්. ගවුමෙන් සුදු පාට තුවායට මාරු වෙන්න එයාට වැඩි වෙලාවක් නොගියෙ සුරංගනාවියක් ඉස්සරහා පාලනේ වෙන්න පුළුවන් හිතක් මට එදත් අද වගේම නොතිබුණ හින්දා.

මම හෙමිහිට ගිහින් එයාව පිටිපස්සෙන් තුරුල් කරගෙන කම්මුලක් හෙමින් ඉඹින්න ගත්තා. එදත් මෙහමමමයි.එයා ටිකකින් සින්ක් එක උඩින් ඉඳගෙන මාව ලඟට අරන් නොඉවසිල්ලෙන් වගේ සතුටු වුණා. නොසෑහෙන. ඒ මතකෙ එයාටත් තවම තියෙනවා කියලා මට දැනුණා. කම්මුල් දිගේ සීතලක් දැනෙනකොට මම ඇස් දෙක ඇරලා කණ්ණාඩියෙන් එයා දිහා බැලුවෙ ලෝබකමෙන්.

ඔව්, එයා අඬනවා.හරියටම අපි තුරුල් වුණ පළවෙනි දවසෙ වගේමයි. ඇස් දෙක පියාගෙන එයා අඬන දිහා එයාට තුරුල් වෙලා බලාගෙන ඉන්න මට මහ වෙලාවක් තව නෑ. එයාටත් එහෙමයි. තව පැය දෙකක්වත් අපිට නෑ.සමහරවිට අද මෙතනින් ගියාට පස්සෙ අපිට ආයෙ මුණගැහෙන්න වෙන එකක්ම නෑ.

"මාව ඇඳට එක්කන් යනවද මහත්තයෝ, වඩාගෙන " 

එයා කදුළු වලට පයින් ගහලා හිනාවෙනවා. මම එයාව වඩාගෙන ඇවිත් ඇඳෙන් තියලා එහෙමම එයාට තුරුල් වෙද්දි වෙනදටනම් එයාගෙ කොණ්ඩෙ මගෙ මූණ පුරාවට වැහිලා යනවා. අද එහම කරදරයක් නෑ. 

අපි එහෙමම අපේ ලෝකෙක පැයකට කිට්ටු වෙන්න ඉන්න ඇති. 

"ට්‍රීං ට්‍රීං"

කාමරේ තිබ්බ ෆෝන් එකෙ සද්දෙට අපි දෙන්නම ඇස් ඇරියා. 

"හෙලෝ"

"ලෙඩාව තියටර් එකට ගෙනියන්න වෙලාව හරි සර්"

ෆෝන් එක කණේ තියාගෙනම එයා දිහා බලනකොට කටුව වැහෙන්න ගහපු ප්ලාස්ටර් එකට බර වෙලා හිනාවෙලා,

"මම නැතුව පාළුවට තියෙයි ඔයාට"

කිව්වා.

~~ මයෝ ~~

පවාරණය !!!

නුහුරු නුපුරුදු තපෝ වන මැද 

බවුන් වඩමින් උන්නු හින්දා

පුරුදු සුපුරුදු ලදළු පහසින් 

සමවැදී උන් දැහැන් බින්දා


අගුළු දොරගුළු වසාගෙන හුන්

මැදුර සුවපහසුවට තිබුණා

විවර කල නෙත් පියන් අභිමුව

සඳළුතල ඉරිතලා තිබුණා


විසුල මිහිතල ගිගුරුවාගත්

සහන් පහසට අගුළු වැටුණා

කුමට වැලපෙමි තපෝ වනයෙත්

කුමර බඹසර නිබඳ බිඳුණා !!!

බෝ ගහ යටදි තන මිරිකුවා ජිනරතන !!!


"අඩෙහ්, දස්කොන් ප්‍රමිලා පට්ට ආදර කතාව නේද බන් ?"

"මොකක්?, ඒක කොටුවක් පැනපු සීන් එකක් නෙමෙයිද? "

කතාව පටන් ගත්ත තැනම ඉවර වෙලා බෝතලෙත් ඉවර හින්දා අපි ගෙවල් වල ආවා. දස්කොන් ප්‍රමිලා කතාව එච්චර පට්ට ආදර කතාවනම් එහා ගෙදර සුමනා අක්කා බණ්ඩයියා නැති වෙලාවක් බලලා සයිමන් අයියා එක්ක බැද්දට ගාටන එක අවලමේ යනවා වෙන හැටි මට පැහැදිලි මදි. ඒක ගැන කතාකරන්න ඉඩක් නොලැබුන හින්දා නිකමට කල්පනාකරන්න ගත්තා. එහෙම බලද්දි අපි කවි ලියපු, කතා ලියපු, චිත්‍රපටි හදපු, නිසදැස් ලියපු බහුතරයක් ආදර කතා අවලමේ ගියපුවා. 

ක්‍රිෂ්ණා බටලී වයන එකට වශී වෙලා රාධා එක්ක ආදරෙන් බැඳුනා. ඊට පස්සෙ දෙන්න විරසක වුණා. එතනින් පස්සෙ ක්‍රිෂ්ණා බටලී ගහන එක නවත්තලා රාධා වෙනුවෙන් බලන් ඉන්නවා වෙනුවට බටලී හඬට ඇදුන උන් එක්ක හෝපළු යහන් තලාවෙ අනන්තවත් සැතපුනා.අන්තිමට රාධා ආයෙත් කාලෙකට පස්සෙ ඇවිත් ඒ හෝපළු යහනෙම යහන්ගත වෙන එක එක්ක අපි කවි ලියන්න ගත්තා. එතකොට ක්‍රිෂ්ණා හොඳයි,හැබැයි සයිමා අවුල්. 

මුම්ටාස් වෙනුවෙන් සාජහන් හඳපු මාළිගාව එක්ක උන් දෙන්නගෙ ආදරේ ලන්සුවකට හේත්තු කරලා සාජහන් ඉවර කරනවා. මුම්ටාස්ගෙ නංගි එක්ක පවුල් කන්න පටන් ගන්නවා. අපි ටජ් මහල බලාගෙන තවම අඬනවා හපොයි ඒ ආදරේ කියලා. එතකොට සාජහන් හොඳයි, හැබැයි සයිමා අවුල්.

ගෙදරට ඇවිත් ගෑණි උස්සගෙන යනකල් මුකුත් කරගන්න බැරුව, වානරයෙක් එවලා ගෑණි එක්කරගෙන ගිහින්, උස්සගෙන ගිහින් හිටිය කාලෙ උස්සන් ගිය එකා එක්ක නිදාගත්තෙ නෑ කියලා ඔප්පු කරපන් කියපු රාමගේ ආදර කතාව සුපිරි. ඒක තමා ආදරේ. එතකොට රාමා හොඳයි,හැබැයි සයිමා අවුල්. 

සීගිරියෙ ඇන්දෙ කාශ්‍යප රජතුමාගෙ බිසෝවරු ටිකනම්, ඔතන රජාට නොදැනුණ කතා තිබ්බෙ නෑ කියලා කොහොම පිළිගන්නද?සමහරවිට අතින්වත් අල්ලපු නැති, ඇස් කොනකින් ඉඟියක්වත් නොදුන්න, ටජ්මහල් හදන්න බැරි වුණ කතා තියෙන්නත් ඇති, වැනුවෙ නැතුවට පතරංගෙට කවි පොත් වල. හැබැයි සයිමත් අවුල්, අත නොතියා මල තලලා, පෙකණියට උඩින් ලපයක් තිබ්බනම් තවත් ලස්සනයි කියලා නොකියා, තියලා යන්න ගිය, චිත්‍ර ඇඳපු එකත් අවුල්.ඒවා අවලං, එවා කතා නෙමෙයි. ඒවට කවි නෑ ඕසෙට.

මටනම් හිතෙන්නෙම ගෙට ගත්ත අධිකාරම එක්ක සෙල්ලම් රජාට හොරෙන් කරපු එක අහුවෙලා මැරෙන්න වෙච්ච එක ඇතුලෙ ඔය කියන තරම් කතාවක් තියෙනවනම් සයිමන් අයියගෙයි සුමනා අක්කගෙයි කතාවට කවි ගී ලියවෙනවා හොඳටෝම මදි කියලා. 

අහු වුණේම එකයි. ඒ " කෝමාරික, සිද්ධාර්ථ ". වැයුනත් මදි, ගැයුණත් මදිද මන්දා. කොහොම වුණත් ඉවර වෙච්ච විදිය තමා අපූරුම. 

"බෝ ගහ යටදි තන මිරිකුවා ජිනරතන,

කෑ ගෑවාය මහ ගෑණිය වෙසඟ දින"

~~ මයෝ ~~