Saturday, November 9, 2019

ඈත කඳුකර හිමව් අරණේ

මුද්‍රා නාට්‍යක ඇතුලත් වෙන නිතර දෙවේලේ හමුවන ස්ත්‍රී වර්ණනාව පරයන පුරුෂ වර්ණනාවකට සේකර අමුණපු වචන ටික ඔහේ අහගෙන ඉන්නකොට එකින් එක රූප රාමු එකතු වෙලා ලස්සන කතාවක පහස ඉබේම දැණුන හැටි අපූරුයි. 

ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ 

සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ 
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ

රනින් කල වන් පුළුල් උරයෙන් 
හසුන් ළමැදේ මුස කරන්නේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ
සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ

එහෙ මෙහෙ අත පත ගානකොට නල දමයන්ති ආදර කථාවට හිත අස්සේ පින්තූර එකතු වෙනවා ඉබේම වගේ. කථාව ගලාගෙන යන විදිය අපූරු හින්දාම පොඩ්ඩක් එහෙ මෙහෙ අතගාලා බලන්න හිතෙනවා. නල කුමාරයා මැදුරෙ ඉන්නකොට හන්සයො ටිකක් මැදුර ඉස්සරහා තියෙන පොකුණෙ ඉන්නව දකිනවා.හන්ස දඩයමට සැරසෙන නල කුමාරයාට පේනවා එක් විශේෂ හන්සයෙක්. දඩයමට කුරුමාණම් කරනකොට මේ හන්සයා අභය දානය ඉල්ලගෙන අපූරු යෝජනාවක් කරනවා. ඒ අභය දානයේ හිලව්වට දමයන්ති කුමාරියගේ ආදරය හිමිකර දෙන්න. ඔව්. හන්ස දඩයමට එහා රති කෙලියක හීන දකින්න නල කුමාරයාගේ අකමැත්තක් ඇති වෙන්න හේතුවක් යෙදෙන්නේ නැති තැන හන්සයා ආපහු ගමන් අරඹනවා.දමයන්ති කුමරිය හමුවෙන හන්සයා තමන්ගේ යුතුකම ඉටු කරන අටියෙන් කපුකමේ වචන හරබය පටන් ගන්නවා මේ විදියට. නල කුමාරයා මුණ ගැහුණේ ගව් ගානක දුර ඈතකදි. මේ හන්සයා විස්තරය පටන් ගන්න තැන ඉදන්ම දමයන්ති කුමරිය 
නල කුමාරයාට වසඟ කරගන්නට හරි අපුරුවට වචන ගලපනවා.  මෙතනදි ලපලු කියන්නේ ඇත්තටම නොඉදුල් කුමාරියො නේද කියලත් හිතෙනවා.  
ගම් නගර සිසාරා නල කුමාරයා සමග ආදරයෙන් බැදෙන්න කුමාරිකාවන් උන්මාදයෙන් මෙන් පොර කන එක හරි අපූරුවට මේ විදියට එක හුස්මට කියලා දානවා

"ඈත කඳුකර හිමව් අරණේ
සීත චන්දන ලපලු හෙවනේ
සුළං රැල්ලේ පාව එන්නේ
ඔහුගෙ නාමය වේ "

සුන්දර කඳුකරයේ නාඹර කුමරියන් හැම කෙනෙක් මුව ගැවසෙන්නෙ ඔහුගේ නාමයයි කියන එක දමයන්ති කුමාරියගෙ හිතට කාවද්දන්න හරි අපූරුවට පරිසරය එක්ක ගලපගෙන සේකරගෙ වචන වලින් හන්සයා දරන උත්සහාය සාර්ථක නොවෙන්න හේතුවක් නෑ . සඳැල්ලේ මිණි තලාවේ තාරකා පිපෙන එක අහසේ තරු පායන සුන්දර හවස් යාමය නිරූපණයට සේකරගෙ සුවහසක් උපමාවන්ගේ අංශු මාත්‍රයක් විදියට  නිකමට දැණෙන එක වරදක් නෙමෙයි. සමහරවිට මේ නල කුමාරයා සඳළු තලේ සක්මන් කරන වෙලාව ගැන අදහසක් දනවන්නක් වෙන්නත් පුළුවන්.  

ඒ කොහොම වුණත් හන්සයාගේ උත්සහාය සාර්ථක වෙන්නේ දමයන්ති කුමරියගේ හිතේ අනිත් කුමාරිකාවන්ට අයිති වෙන්න නොදී නල කුමාරයාව 
අයිතිකරගන්න අදහස පැළ වෙන එකෙන් කියන එක හන්සයා නොදන්නවා නෙමෙයි.ඒ හින්දා වෙන්න ඇති අන්තිමටම කියන්නේ

"ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ" 

කියලා. මේ කියන්නේ දමයන්ති කුමරියට යෝජනා කරන නල කුමාරයා වෙනුවෙන් ලදැලියන් එහෙමත් නැත්තන් ලමිස්සියන් දහස් ගණනකගේ හීන මේ සුන්දර හැන්දෑ යාමයේ  වෙන් වෙලා කියලා. මේ උත්සහාය කුමරියගෙ හිතේ ඉරිසියාවක් තන්හාවක් උපද්දන එක නේද කියලා නිකමට හිතෙනකොටම හන්සයා කුමාරයාගේ රූප සොබාව වර්ණනා කරන්න පටන් ගන්නවා. ඔව්.මට හිතුණ දේ හරි. සේකරගේ උත්සාහය ඒකම තමා. 

"සඳැල්ලේ මිණි තලාවේ
තාරකා පිපි වෙලාවේ 
ලදැළියන්ගේ සීන අතරේ
මැවෙයි ඒ රූපේ "

නල කුමාරයාට තුරුල් වෙන ආදරවන්තියගේ පියයුරු මුසපත් කරන්න සමත් රත්තරනින් නිමැවුණා වගේ පුළුල් උරතලයක හිමිකාරයෙක් කියලා සේකර ලියන්නේ හන්සයාගේ උත්සහයට උපරිම සාධාරණය කරන අදිටනින් වෙන්න ඇති.

"රනින් කල වන් පුළුල් උරයෙන් 
හසුන් ළමැදේ මුස කරන්නේ "

හදවතේ උපදින ආදරේ සද සිහිලකට එහා ගිය සුවයක් නල කුමාරයාගේ ආදර වන්තියට ලබාදෙයි කියන විස්වාසය ඇතිකරන්නේ 

"හදේ මෝරන ආදරේ
සඳේ සොමි ගුණ යා කෙරේ " කියලා.

නව යොවුන් විය එක්ක ඇතිවෙන හැගීම් වලට ආදරේ පිණි බින්දු වැටෙනකොට එතන නුරාවක පහස නැති වෙන්න විදියක් නෑ. නාඹර යොවුන් හිතක ඒ යතාර්ථයට ආමන්ත්‍රණය කරන්න

"සරා ගී නිල් නුවන් බඳුනින්
නුරා ඉතිරෙන්නේ" 

කියන වචන ටික ඇරෙන්න මොනවනම් කියන්නද. සියල්ලෙන් සම්පූරණ මේ කුමාරයට වහ වැටිලා තියෙන වෙලාවක දමයන්ති කුමරියට නල කුමාරයාගේ නිල් දෙනුවන් වලින් වෑහෙන නුරාව ගැන ඉගියක් දුන්නම එයින් මුසපත්  නොවෙන්න හේතුවක් තව කොහෙන් හොයන්නද කියලා සේකරට හිතෙන්න ඇති. හන්සයා එහෙමම කියන්න ඇති. සුන්දර වචන වියමනකට නොදෙවෙනි සංගීතයක් සහ ගායනයක්.