Tuesday, November 7, 2023

ඉතින් අපි හිනැහෙමුද තව දවසක්

ඉතින් අපි සැනහෙමුද තව මොහොතක්

සඳත් ඇති අහසට වෙලා

අපේ මතකෙන් සැඟවිලා

පුරුදු කළුවරටම වෙලා

හඬනවා ඇති මඟ බලා

ඉතින් අපි කොඳුරමුද එක රහසක්


පැතුම් පොදිබැඳ අතින් අත අල්ලා

හිස් කතාවක මතක පොදි බැන්දා

දුරින් ඉඳගෙන නෙතින් නෙත පටලා

ආයෙමත් රහසින් සුසුම් හෙළුවා


සිතුම් අහසක ලිහිණි තටු සලලා

ගිගුම්ලන වැහි සිතුවමක ඇන්දා

සහන් සුළඟක මතක දිය කරවා

පාළුවේ හිත කෑ ගසා හැඬුවා


~~ මයෝ ~~

අඳුරු අහසට දරාගන්නට බැරි තරම් 

සුසුම් බර වැඩි හින්දා

තිසා වැව උතුරා ගලන්නට යන තරම්

අමාවක අහසම සිනාසී හැඬුවා


ගව් ගණන් දුර තවත් අහසක

සඳක් පායා දිලුනා

එදා වාගෙම වැව් තලාවට 

මට වඩා දුක හිතුණා

මගේනම් හිත හැදුණා


මන් තලාවේ පුරුදු නුපුරුදු

ස්නේහයේ මල් පිපුණා

අමාවක සඳ මටත් රහසින්

සුසුම්ලනවා ඇසුණා

මගේනම් හිත හැදුණා

ඒක වෙන විදියක්ලු කාශ්‍යපගෙ ආදරේ

සීගිරියෙ බිත්තියක මැද්දෙ සුද මැදපූ

තිබුණා එක ලියමනක් කාටදෝ ලියපූ

මල් කඩන් එන වෙලේ හදිසියේ ගොතපූ

ඒක වෙන විදියක්ලු ආදරේ කියපූ


රජ්ජුරුවො හදපු වැව් ඉස්මත්තෙ පාරේ 

ඔළුව වැදුනද උබේ දෝලාවෙ දාරේ 

පැනගන්න බැරි වුණත් සීගිරියේ බෝඩරේ 

කොටුවෙ බෝ ගහ යටත් තිබුණාලු ආදරේ 


කියවගෙන යන ගමන් පත්තරේ විස්තරේ

මැද පිටුවෙ හම්බුණා කාශ්‍යපගෙ මන්දිරේ

උසාවියෙ මොර දෙද්දි කළු කබා චන්දරේ

ඒක වෙන විදියක්ලු කාශ්‍යපගෙ ආදරේ


~~ මයෝ  ~~

කාශ්‍යපට රැවටුනා වෙන්ඩැති මල් කඩපු ගෑණූ !!!

අඳුරු කාමර වලට රි‍ංගන මාළිගා හීන

ලෑලි බෝඩින් මන්දිරේ රෑ තොල් පාට කරන

ජුකී මැසිමට පුරුදු කකුලට හයි හීල් ගාන

ගෙදර යනකොට වහන් පලයන් මූසලලු මූණ


ආට් ගැලරියෙ මොනාලීසට දෙදාහක් දීලා

හැට්ටෙ පොඩ්ඩක් පාත් කරමුද ඇහුවෙ සිකුරිටිලා

ඩිස්නිලන්තෙට ගියත් අරගෙන පොප් කෝන් කවලා

මුහුදෙ නැව් ගිය පාරවල් නෑ කොන්ක්‍රීට් කරලා


ලයිට් කණු වල එළිය වැටුනම කොටුවෙ කුණු කානූ

හිතුවෙ ෆිල්ටර් කෙරුවා කියලලු විස ම පරමාණූ

කළුවරේ උන් එකතු කෙරුවට වීසි වුණු රේණූ

කාශ්‍යපට රැවටුනා වෙන්ඩැති මල් කඩපු ගෑණූ


 ~~  මයෝ  ~~

බලන් ඉන්නට බැරිම තැන් වල බලන් හිටියලු අම්මලා

මහන් හීරුනු සිල් රෙද්දෙ හිල් නූල් පොටකින් අමුණලා 

සිල් ගන්න ගිය දාට පාළුයි ලිපෙත් ඇස් දෙක තෙත් වෙලා 

මුට්ටියේ දංකුඩේ හූරන් රාජ භෝජන වළඳලා 

බලන් ඉන්නට බැරිම තැන් වල බලන් හිටියලු අම්මලා


කාන්තාරෙක වැලි තලාවක තොල් හපාගෙන වැතිරිලා 

වතුර එනකන් මිරිකගෙන වැලි මොණරු මල්ලක පටවලා 

අරන් ඇවිදින් සව්දි චොකලට් ගෙදර උන් ටික සනසලා 

බලන් ඉන්නට බැරිම තැන් වල බලන් හිටියලු අම්මලා 


දානෙ අරගෙන ගිහින් එනකොට මූණ තිබුණෙම මැලවිලා

ණය පොතේ පිටු ඉරෙන ගානට කඩේ දොර අඩවල් කලා

දැලි පිහාගෙන උඩ බලාගෙන පිලේ අයිනක ඇලවෙලා

බලන් ඉන්නට බැරිම තැන්වල බලන් හිටියලු අම්මලා

 "ගොඩක් වෙලාද ඇවිත්?"

"මම ආව වෙලාව ඔයා දන්නවා"

ඔව් ඇත්තටම මම ඒ වෙලාව දන්නවා.මොන වැඩ තිබුණත් මම එයාට කලින් හැමදාම එනවා,මේ බංකුව උඩ අපිට ගෙවන්ඩ තියෙන එක විනාඩියක්වත් නැති කරගන්ඩ මට වුවමනාවක් නැති හින්දා.

"ඔව් මම ඇවිත් හිටියෙ"

"මගෙ හොර අල්ලන්න හදනවද හැංගිලා බලන් ඉඳන්?"

"හොරු අහුවෙන්ඩ හොරකම් කරන්නෙ නෑ කියලා මන් දන්නවා."

මට බොරුවක් කරන්ඩ හේතු එයාට නෑ.එයාට බොරු කරන්ඩ මට හේතුත් නෑ.මේක සිද්ද උනේම එහෙමයි.

"මේ අපි අවුරුදු ගාණක් හම්බ වෙන බංකුව. ඒ හැමදාම මන් ඔයාට කලින් මෙතන්ට ආවා. ඔයා ඒක දන්නෙත් නැතුව ඇති".

"මන් ඒක දන්නවා කියලා ඔයත් දන්නවා"

මට තියෙන්නෙ හිතන්ඩ විතරයි.කියන්ඩ කලින් එයා ඒක දන්නවා. 

"ඇයි මාව අමතක කරන්නෙ නැත්තෙ?"

"ඇයි මාව අමතක කරන්නෙ නැත්තෙ?"

අපි මුහුද දිහා බලන් හිටියා.වෙනදා වගේම.මගෙ උරහිස උඩින් ඔළුව තියාගෙන ඉන්ඩ තමයි එයා ආසම.මන් මුකුත් කිව්වෙ නෑ.

"ඔයාට මතකද අපි අන්තිමට හම්බුණ දවස?"

"අපි තව දවසක් ඉඳලා යන්ද කියලා අහපු බණ්ඩාරවෙල හෝටලේ. අපිට තව දවසක් ඉන්ඩ තිබ්බා"

"ඒ අපි හම්වෙන අන්තිම දවස කියලා දැනන් හිටියනම් මම එදා ආපහු එමු කියන්නෙ නෑ කියලා අපි දෙන්නම දන්නවා"

"නේද?"

"හ්ම්ම්"

ඊට වඩා මොනව කියන්නද. ඒ ගමන මට ජීවිතේට අමතක කරන්ඩ බැරි ගමනක්.අපිට ඕන කරපු හැමදේම අපිට හම්බුණ ගමනක්.අපිට ඕන නොකරපු එකම දේත් අපිට හම්බුණ ගමනක්.මම කොළඹින් පිටත් වෙලා නුවරට යද්දි හතරට විතර ඇති.

"හෙලෝ,මම මාළිගාව ලඟ"

"මම එනගමන් පැටියො,විනාඩි දෙකක් දෙන්න"

පල්ලියෙන් කියලා තිබ්බ,අම්මලා හුරුකරලා තිබ්බ, නීතියක් වෙලා තිබ්බ සල්වාර් එකෙන්,මූණ පොඩ්ඩක් පේන්ඩ කටු ගොඩක් ගහලා ඔළුවෙ පටලපු රෙදි කෑල්ලෙන් අයින් වෙලා ඩෙනිමයි ටීශර්ට් එකකුයි ඇඳගෙන කුරුල්ලෙක් වගේ පියාඹන්න පුළුවන් ගෙදරකට කසාද කොළේක ලියලා එයා එතකොටත් ගිහින්.

එයා වැව ඉස්සරහින් ඇවිත් වාහනේ දොර අරිනකල් මට එදා මාළිගාව ලඟ තිබුණ කිසිදෙයක් පෙනුනෙ නෑ.මම එයාගෙ නොදැකපු දෙයක් නෑ.හැබැයි ඒ විනාඩි දෙකට පෙනුන තරම් ලස්සනක් මට ඊට කලින් එයාගෙ පෙනිලා නෑ.සමහරවිට ඒ අපේ අන්තිම හමුවීම හින්දද කියලා මට අදටත් හිතෙනවා.

"මොනවද බලන්නෙ?"

"ලස්සන"

"මේක හොර ගමනක්ද?"

"නෑ නේද?"

එතනින් එහාට එයා මගෙ අතින් අල්ලගෙන හිටියා විතරයි.කොහෙද යන්නෙ,කවදද එන්නෙ කියලා අහන්ඩ වුවමනාවක් එතනින් එහාට අපිට තිබ්බෙ නෑ.

අපි හොටෙල් එකට එද්දි අපිව පිළිගන්න,අපේ බෑග් ටික කාමරේට දාන්න පොඩි කොල්ලෙක් වාහනේ ලඟට දුවගෙන ආවා.ඌ මට ආයුබෝවන් කියලා හොරෙන් බල බල හිටියෙ එයාගෙ ලස්සන.ඇත්තටම මට ආඩම්බරයි වගෙත් හිතුණා.

"මේකෙ හොට් වෝටර් වැඩ නෑනෙ පැටියො,පොඩ්ඩක් බලන්නකො"

එයා වොශ් රූම් එකේ ඉඳන් කෑගහනකොට මම ෆෝන් එක ඕෆ් කලා විතරයි.

ඒ අපි එකට නාපු පළවෙනි දවස නෙමෙයි.එකම දවසත් නෙමෙයි.හැබැයි අන්තිම දවස වෙන්න එපා කියලා අපි දෙන්නම හිතුවා.

"මුස්ලිම් සුවඳයි"

" අහ් ඇත්තට,ඒ මොන සුවඳක්ද ඒ?"

අපි අස්සෙන් වතුරට වැටෙන්න ඉඩක් නෑ.

ඇත්තටම අපිට උණුවතුර ඕනි වුණේ නෑ.එතනින් එහා අපිට කිසිදෙයක් ඕනි වුණේ නෑ ඒ දවස් දෙකකටම.

"අපි දැන් යන්ඩම ඕනෙද?"

"ම්ම්,ඔයා හෙට යන ගමන යන්ඩම ඕනෙ හින්දා,"

එහෙම කියාගෙන බෙඩ්ශීට් එක අයින් කරලා නැඟිටලා එයා මගෙ ටීශර්ට් එකක් දාගත්තා.

"මහත්තයා මීදුමනම් වැඩියි,මේ වෙලාවෙ යනවට වඩා හෙට උදේ ගියානම් හොඳයි කියලත් හිතෙනවා"

එහෙම කිව්වෙ අපේ බෑග් ටික වාහනේට දාන ගමන් හොටෙල් එකේ කොල්ලා.ඒක එහෙම වෙන්ඩ තිබුණා.එහෙම නම් අද මෙහෙම නොවෙන්ඩ තිබුණා.

"අපිට හෙට උදේ පොඩි වැඩක් තියෙනවා.අපි හෙමින් යන්න බැලුවේ."

"හොඳයි සර්,පරිස්ස්මට එහෙනම්"

හිනාවක් දාල කොල්ලගෙ අතින් රුපියල් පන්සීයක් තියලා අපි හවස පහට විතර හෝටලෙන් පිටත් වුණා. ඒ මට පහුවදා එයාගෙන් ඈත් වෙලා අවුරුදු ගාණකට සෑහෙන දුරකට යන්ඩ තිබුණ හින්දා.

අපි හෙමින් කඳු ටික බැහැගෙන එනකොටත් එයා එද්දි හිටියා වගේම මගෙ අතින් අල්ලගෙන.කතාකරන්න ගියොත් එයා අඬනවා කියලා මම දන්නවා.

අපි දෙන්නම කොළඹට ගිහින් අඬමු කියල මගෙ හිතට කියාගත්තා.

"ඔව් අපි කොළඹට ගිහින් අඬමු"

එයා මන් දිහා බලල අත කොනිත්තලා එහෙම කිව්වා.

"අනේ අයියේ,මගෙ නෝනව ඉක්මනට ඉස්පිරිතාලෙකට ගෙනියන්ඩ,එයාට සිහිය නෑ"

මට මතක එච්චරයි. එතකොටත් සෑහෙන මිනිස්සු ගොඩක් වාහනේ වටේ ඉන්නවා කියලා මට දැණුනා.

සිහිය ඇවිත් ඉස්පිරිතාලෙන් ගෙදර එනකොට, එයා මම ආසම සල්වාර් එක ඇඳලා,ඔළුවට හිර වෙන්න කොණ්ඩ කටු ගොඩක් ගහලා අපි හනිමූන් එකට ගිය වෙලේ කාමරේදි මම ගත්ත ෆොටෝ එකකට අම්මලා සුදු මල් මාලෙ දාල තිබුණා.

රෑ අටහමාරයි,අපි තවම බංකුව උඩ.එයා මගෙ උරහිස උඩ. එදා වගේම මුහුද දිහා බලාගෙන.

~~ මයෝ ~~

වැටෙයිද දන්නෑ !

එදා මම එල්ලුන 

ෆුට් බෝඩ් පඩියෙම

මගෙ එකත් එල්ලිලා

"නෑ නෑ"

ඒක දැන් දිරල

කතිර වලටම 

හීරිලා

~~ මයෝ ~~

 "තියෙන වනචරකම"

කියාගෙන ඒකි ආපහු හැරුණෙ මගෙ අතේ තිබුණ ලණුවයි පොහොර උරෙයි අතට අරගෙන.මම ගොයම් මිටිය ඔළුවෙ තියාගෙන කමත පැත්තට හැරුණා.

"නැතුව ඉතින් වෙන මොකක්ද?" 

යායෙ එහා කෙළවරේ ඉඳන් මෙහා කෙළවරේ කමතට ගොයම් මිටිය කරගහගෙන එන්ඩ අමාරු හින්දා හැමදාම අපි කරේ මඟින් මඟට ගොයම් මිටිය මාරු කරගත්ත එක. ඒක ලේසියි.ලේසියටත් වැඩිය ඒක වාසියි,එදා ඉඳලම.

කුඹුර පැත්තෙ ඉඳන් අරන් එන උන්ගෙන් අපි කමත පැත්තෙ ඉඳන් ගිහින් මැද නියරකදි ගොයම් මිටිය මාරු කරගන්නවා.ලණුව එළලා ඒකට උඩින් පොහොර උරයක් තියලා කරල් ටික දෙපැත්තට වෙන්ඩ තියලා ගොයම් මිටිය බඳින එක,ඒ ගහන ගැටේ වෙනම කලාවක්.කමතට ගොයම් මිටිය දානකොට ලෙහලා ගොඩ ගහන්ඩ ඉන්න උන්ගෙන් ලණුවයි පොහොර උරෙයි අරගෙන අනිත් අතට දුවගෙන යන්නෙ ඒකිගෙ ගොයම් මිටිය වෙන එකෙක්ට ගන්ඩ දෙන්ඩ තියෙන ලෝබකමට. 

ඇඳන් ඉන්න ගවුමට උඩින් උන්ගෙ තාත්තගෙ කිහිල්ලක් ඉරිච්ච පරණ අත් දිග කමිසෙකුත් ඇඳගෙන,වෙසක් එකට තොරණ් බලන්ඩ ගිහින් එද්දි ගත්ත තොප්පියක්ද කොහෙදත් දාගෙන උදේ ඉඳන් අව් කාස්ටකේ පිච්ච් පිච්චි හිටියත් ඒකිගෙ ලස්සනේ අඩුවක් නෑ.ඔව් ඒකි දැන් මෝරලා.ඉස්සර හිටිය චූටි කෙල්ල නෙමෙයි,ළමයි දෙන්නෙක් ඉන්න මහ ගෑණියෙක්.කමිසෙ ගැලවෙච්චි උඩ බොත්තම අස්සෙන් ලාවට පේන,කමිසෙන් වැහිච්ච පපුව දකින ඕනෙ එකෙක්ට ඒකිගෙ මිනිහට තියෙන දා‍ංගලේ හිතාගන්ඩ අමාරු නෑ.දාඩිය සුවඳට ගොයම් කරල් වල සුවඳයි මඩ සුවඳයි එකතු වෙලා මොකක්දෝ අමුතු හැඟීමක් එක්ක ගොයම් මිටිය ඒකිගෙ ඔළුවෙන් මගෙ ඔළුවට මාරු වෙන තත්පරේට මගෙ අතක් හරි,මූණ පොඩ්ඩක් හරි ඒකිගෙ ඔය කොහෙහරි වදින එක නවත්තගන්ඩ එදා වාගෙම කසාද බැඳපු මහ එකෙක් වෙලත් අදටත් මට බෑ.එදා ඉඳලම උන්ගෙ අත්තම වැරැද්දුවෙ නැති එකම හේතුවත් ඒක කියලා ඒකිත් කසාදයක් බඳිනකල්ම නොදැන හිටියා වෙන්ඩ බෑ.

අපි දවල්ට කෑවෙ කමතෙමයි.කලින් පාගපු කොළයක් උඩට වෙලා මාළු කට්ටක් සූප්පු කර කර ඉද්දි 

"මෙන්න මේකෙන් අරන් කාහන්,ආයෙ සූප්පු කරනකන්"

කියාගෙන තව මාළු කෑල්ලක් බෙදාගෙන ඒකි කුසුමා නැන්දා ගාවින් වාඩි වුණා.

"මගෙ එහා පැත්තෙන්ම වාඩි වුණානම් හෙන ගහනවද ?"

කියලා හිත හිත මන් ඒකි දිහා බලනකොට ඒකිටත් ඒක තේරිලා වගේ නෝන්ජලේට හිනාවෙලා බත් එක කන්ඩ ගත්තා.

"සුසිල් මහත්තයාගෙ සුනාමිය තව ටිකකින් එනවා කිව්වා,එහා යායෙ කොල දෙකක් පාගලා"

කියාගෙන ඒකිගෙ අයියා ඇවිත් මට එහා පැත්තෙ තිබ්බ කොට කෑල්ලක වාඩි වුනේ

"ඔන්න ඔහෙ මටත් කන්ඩ මොනාහරි දියන්"

කියාගෙන.

ඉස්සර ඉඳලම ඌ දන්නවා මම මේ අත්තමට එන්නෙ හොඳකට නෙමෙයි කියලා.ඒ පුරුද්දටම වගේ අදත් ඌ අපි දෙන්න දිහා මාරුවෙන් මාරුවට බල බල බත් එක ගිල්ලෙ හරියට මම ඒකිව උස්සන් යන්ඩ ඇවිත් වගේ.ඒකිටත් ඒක දැනිලද කොහෙද ආයෙ මගෙ පැත්තවත් බැලුවෙ නෑ.

සුනාමිය ඇවිත් කොලේ අස්සට වෙන්ඩ ගැහුවට පස්සෙ ඒකි ගියෙ බැත එකතු කරන තැනට.පිරිමි වෙච්ච අපිට ඔතන කොරන්ඩ දෙයක් නැති හින්දා කොලේ අරන් සුනාමියට දාලා පැයක් යද්දි වඩේ ඉවර කරගත්තා.

"ඉස්සර නම් ඉතින් තවත් කොලේ පාගනවා,නැත්තන් බැතේ හුලන් කරනවා"

එහෙම ඇහෙද්දි මට මතක් වුණේ ඉස්සර ට්‍රැක්ටරෙන් ගොයම් පාගලා බැත හදන්ඩ අතින් කරකන රූනෙක් ගේනවා.ඒක කරකන්ඩ ගත්තහම කුල්ලට බැත අරන් රූනා ඉස්සරහට හලනකොට මම ඒකි දිහා බලන් හිටියෙ පිස්සුවෙන් වගේ.මගෙ දිහත් හොරෙන් බල බල කුල්ලෙන් අරන් බැත ටික හලනකොට මම රූනා කැරකුවට වඩා ඉබේම කැරකුණා.

කළුවරේ පොඩි ලයිට් එකක් කමතට ඇදගෙන බැත සුද්ද කරනකොට ඔය විගඩම් වෙන කාටවත් පෙනෙන්ඩ විදියක් තිබුණෙ නෑ.එහෙම පෙනුණත් එතකොට අපි පොඩි එවුන් හින්දා ඒකට මොකෙක්වත් අවලාද කියන්ඩ එන්නෙත් නෑ, ඒක මේ අද වගේ කසාද බැඳපු එවුන් හොරෙන් නටන නාඩගමක් නෙමෙයි හින්දා.

වී මිටි ටික කමතෙම කොණක තියාගෙන ගැටගහනගමන්ම අපි පිරිමි ටික එකින් එක ගෙදරටම ගෙනිහින් දැම්මා.

"මහදුරක් නෙමෙයිනෙ,ඔන්න ඕක කරේම අදිමු" කියලා.

"එහෙනම් උඹලා ගිහින් නාගනිල්ලා කළුවර වැටෙන්ඩ කලින්"

ගෑණු ටික නාගන්ඩ යද්දි වී මිටි ටික අදින ගමන් මාරුවෙන් මාරුවට ගෙනත් තිබ්බ බෝතල් දෙකක් හිස් වෙලා තිබ්බා.කමතෙ ඉතින් ඔය අහුවෙන එකකට වක්කරගෙන කටේ හලාගන්නවා මිසක් බොන එකේ පිළිවෙලක් නෑ.

"දැන් මැදැයි ඔය නෑවා,ඔන්න ඔහෙ පීල්ලෙන් අයින් වෙයල්ලා අපිටත් ටිකක් නාගන්ඩ"

කියලා ලඟ තිබ්බ ගලකට බර දෙනකොට ඒකි දියරෙද්ද ඇ‍‍ඳගෙන පීල්ල යට.ගෑණු ලස්සනම දියරෙද්දට.මට ඒකිට එහෙම කියන්ඩ හිතුණා.

"ඔන්න අපි නාලා ඉවරයි,නාගන්න කෙනෙක් නාගන්න එකයි ඇත්තෙ"

කියාගෙන ඒකි කොණ්ඩෙ ගසාගෙන පීල්ලෙන් අහකට වුණා.

"පොඩි එවුන් දෙන්න අපේ දිහාවේ අන්න,උඹත් ගිහින් ඔය ඇඳුම් ටික වනලා කළුවර නොවැටි වරෙන් රෑට කාලා යන්ඩ"

කියාගෙන ඒකිගෙ අම්මා ගෙවල් පැත්තට හැරෙද්දි මගෙ දිහා අමුතුවට බලපු ඒකි මට ඇස් වලින් කිව්වෙ,

"ගෙදර කවුරුත් නෑ" 

කියලා වෙන්ඩ බැරිද. ඔව් ඒක එහෙම වෙන්ඩ ඕනෙ. 

ඒකි ඉස්සර වුණා.

ආයෙ අඳින්ඩ ඇඳුමක් ගෙනිහින් තිබ්බෙ නැති හින්දා ඒකි තුවාය කර වටේ ඔතාගෙන දියරෙද්ද පිටින්ම ඇඳුම් ටික එකින් එක වැලට දාන දිහා මම බලන් ඉද්දි දියරෙද්දෙන් මට වහන්ඩ පුළුවන් දෙයක් ඒකිගෙ ඇගේ තිබ්බෙ නෑ.

"කොණ්ඩෙ පිහගන්නකන් හිටපන් වදේ"

"ඔන්න ඔහෙ ඕනෙ නැති කොණ්ඩයක් නෑ.මෙහාට වරෙන්"

 "මම ආසම සුවඳ"

"ඔනෑ තරම් බලාගනින් එහෙනම් ආසම සුවඳ"

"උඹේ මිනිහට දාංගලේ වැඩියි වගේ නේද?"

"ඒ මොකද?"

"මේ බලපන්කො මෙව්වා"

"වනචරකම තියෙන,මිනිහගෙන්ම අහගනින් ,මගෙන් අහන්ඩ එපා ඔව්වා"

කියලා ඒකි මහ හයියෙන් හිනාවෙවී මහන්සියට මගෙ පපුව උඩ මූණ ඔබාගත්තා.

අපි කළුවරේම මහගෙදරට යද්දි නැන්දම්මා අත්තමට ආව උන්ට කෑම බෙදන ගමන්

"මන් ඒත් බැලුවා නාගෙන ගෙදර ගිය එවුන් දෙන්නට මොකක් වුණාද කියලා"

කියද්දිම පොඩි එකා 

"අප්පච්චී ..." 

කියාගෙන ඇවිත් ඇඟට පැන්නා.