Friday, April 23, 2021

බැන්ඳට වඩා ලාබයි හඳපාන මට !!!

 මාලෙට ලක්සයයි ගවුමට හැටදාහයි

සාරියෙ වැඩ වලට විතරක් විසිදාහයි

ඇඳගෙන එද්දි එළියට හැටපන්දාහයි

නිදිමත නැද්ද ඔරලෝසුව පහමාරයි


පෝරුව උඩදි සුදු පිරුවට ඔතන්නට

බෙර ගහ ගහා වෙස් නැට්ටුවො නටන්නට

හසරක් නැතුව මන්තර ජප කරන්නට

තිස්පන්දාහකට ලාබයි උඩින් මට


මාසෙක ඉඳන් ලාබෙට බෝතල් හෙව්වා

යන එන ගමන් තුන හතරක් මම බිව්වා

කටගැස්මටත් වෙනමම පනහක් ගෙව්වා

වීදුරු වලට ඕසෙට සමහරු පෙව්වා


ගස් ලබු ගෙඩිය එක එක ආරට කපලා

පැණි කොමඩුවට දෙන වද තිස්දෙක දීලා

හැඳි ගෑරුප්පු වතුරත් ලගටම තියලා

හත්දාහකට ලාබයි ඌරත් උයලා


හන්තානේලු මදුසමයට හොඳම තැන

නුවර එළියටලු යන්නෙ දෙවනි දින

ෆොටෝ අරන් හග්ගල ඔය තැනින් තැන

බිල් වල ගණන් මොකටද යන එන ගමන


ගවුමේ උඹේ පොඩි ඇදයක් වගෙ තිබුණා

කජු මාලුවේ හොඳි වැඩි ගතියක් පෙනුණා

විදුලි බුබුළු මදි ගතියක් වගෙ දැනුණා

එහා ගෙදර නැන්දා මුමුණනු ඇසුණා


දුම් දාගෙන කිරි කළයක් හලන්නට

කිරිබත වටේ තනි තරුවක් තනන්නට

කුල්ලයි කැවිලි දහපහළොව ගෙනෙන්නට

හත් අට වතාවක් යන්නට වුණා මට


පිටරට විස්කි බෝතල් කැටි පෙව්වාට

එක එක ජාති මස් පොට්ටනි කැව්වාට

ආගිය එවුන් පම්පෝරිය ගැහුවාට

බැන්ඳට වඩා ලාබයි හඳපාන මට !!!

Thursday, April 15, 2021

ඒ ඒකිගෙ මිනිහා

 මන් ඒ වෙනකල්ම හිතුවෙ නෑ ලක්ශ ගානකට වඩා බර ගෑණු පන්සීයට දාහට විකිණෙන්න බලන් ඉන්නවා කියලා, මේ වෙරළ අයිනෙ පාරෙ.

ඉතුරු නැති වෙනකල් බෙදාගෙන,බෙදන්න බැරිම ටික අපි දෙන්න මැද ටින් එකේ. 

"බීපන් ..."

අවසර ලැබුන ගමන් කටට හලාගන්නකොටම 

"මටත් තව ටිකක් තිබ්බනම්.."

ඒ අන්තිම ටික ඒකි බිව්වෙ ටින් එකෙන් නෙමෙයි. එහෙව් එකේ ආයෙ මොකටද හපන්න දෙයක්. 

අපි එතකොට අපේ යටගියාව ඇති වෙන්න තලු මරලා.

" ඕනෙනම් බොන්න තිබ්බනෙ"

"ඕනෙ ටික තමයි බිව්වෙ"

"උඹට වෙරි"

"බොන්නෙ වෙරි වෙන්ඩම නෙමෙයි,උබ බොන්නෙ මොකටද?"

"මම තරම් දුක් විඳින මිනිහෙක් උබට හොයාගන්න වෙන්නෙ නෑ.ඒ දුක අමතක වෙන්නෙ මෙහෙම වෙලාවක විතරයි.වෙරි වුණාම මට මුකුත් මතක නෑනෙ.මන් බොන්නෙ ඒකයි"

ඒකි කටකොණින් හිනාවුනා විතරයි. 

අපි පැය එක හමාරකට වඩා මුහුද දිහා බලාගෙන, ඉඳගද්දිම බන්කුව මැදින් තියාගත්ත සිගරට් පෙට්ටි දෙකෙන් එක එක අරන් පත්තු කරේ උවමනාවකට නෙමෙයි.

"අපි යනවද?"

"කොහෙද?"

"උබ මෙච්චර දුරත් ඇවිත්,වෙරළ දිගේ පයිනුත් ඇවිත්, හොයපු සැප විඳින්න, උබේ කාමරේට"

"අපි මෙතන එළිවෙනකල් ඉන්නවට උබේ අකමැත්තක් නැත්තන් මට තව බියර් ටිකක් ගෙනාවැහැකි, කන්න මොනවහරිත් එක්ක"

"උබ මට කීයක් ගෙවනවද එළිය වැටුනම?"

"උබට කීයක් ඕනෙද?"

"ඔය ඉස්සරහා ටැක්සි බයික් එකේ ඉඳගෙන සිගරට් එක බොන එකාගෙන් අහලා වරෙන්"

"ඒ මොකටද උගෙන් අහන්නෙ?"

"ඌ ඔය සිගරට් එකයි බියර් එකයි ගත්තෙ උබට කලින් ආව එකා දුන්න පන්සීයෙන්. ඇත්තටම ඌ දාහක් දුන්නා. මන් පන්සීයක් බ්‍රා එක අස්සෙ ගහගත්තා, කාමරේදිම,මේ බලපන්" 

ටී ශර්ට් එක පාත් කරපුවම බ්‍රා එක අස්සෙ උන්ඩි වෙලා තිබිච්ච සල්ලි කොළයක් පෙනුනා ලාවට වගේ.

ඒකි බොරු කියන්නෙ නෑ.මට විස්වාසයි. ඒ ඒකිගෙ මිනිහා.

පත්තු කරගෙන හිටිය සිගරට් එක බිබී මම තනියම කාමරේට ආවා.

~~ මයෝ ~~

විහාරයේ විලාපයක් !!!

විහාරයේ විලාපයක්

අතුරු සිදුරු නැති සෙනඟක්

හීන්සැරේ බෝ මළුවට

කඳුළු වැටෙනවා

යකඩ කටෙන් එහා ගමට

පිරිත් කියනවා


මහ මළුවට ගිහින් ඇවිත්

සිල් රෙද්දට කර තියාන

ගං තුලානෙ කසු කුසු

සව් දියට පුරනවා

හීන්සැරේ බෝ මළුවට 

කඳුළු වැටෙනවා

යකඩ කටෙන් එහා ගමට

පිරිත් කියනවා


අටපිරිකර මල් පළතුරු

බුරුතු පිටින් හිස තියාන

එහෙටත් නැති මෙහෙටත් නැති

හිමිට වඳිනවා

හීන්සැරේ බෝ මළුවට

කඳුළු වැටෙනවා

යකඩ කටෙන් එහා ගමට

පිරිත් කියනවා

මාව ඇඳට එක්කන් යනවද මහත්තයෝ, වඩාගෙන

මම බෑග් එකත් අරගෙන රූම් එක ඇතුලට එනකොට බාත් රූම් එකේ දොර අඩවල් කරලා. එහෙමම ඇතුලට එබිලා බලලා බෑග් එක ඇඳට එහයින් තිබ්බ පොඩි මේස කෑල්ලෙන් තිබ්බා. ශවර් එක ඇරලා වතුර ගලන සද්දෙට මට තවත් බලන් ඉන්න බැරි තැන හෙමින් අඩවල් කරලා තිබුණ දොර ඇරගෙන බාත් රූම් එක ඇතුලට ගියෙ ඉබේටම වගේ. 

ඇත්තටම එයා ලස්සනයි. අපි පළවෙනියටම දැකපු දවසෙ ඉඳන් මේ වෙනකල්ම මට ඒ ලස්සනේ අඩුවක් පෙනිලා නෑ. මම මුලින්ම එයාව තුරුල් කරගෙන ඉඹිනකොට එයා කලේ මගෙ පපුවට තද වෙලා අඬපු එක. එදා ඉඳන් අද වෙනකොට අපි සෑහෙන දුරක් ඇවිත්. අද මන් එයාව ඉඹිනකොට එයා අඬන්නෙ නෑ. මාත් එක්ක හුරතල් වෙනවා මිසක්. මූණට වැටිලා තිබුණ කොණ්ඩ ගස් දෙකතුන කණ්ණාඩියට හොරෙන් උඩට දාගෙන සින්ක් එකට බර වෙලා එයාගෙ ලස්සන බලනවා. අවුරුදු පහකට විතර කලින් මම දවසක් මේ විදියටම එයා දිහා බලාගෙන හිටියා. එදා එයා ඇඳගෙන ඇවිත් හිටියෙත් විනිවිද පේන කොට ගවුමක්. ගවුමෙන් සුදු පාට තුවායට මාරු වෙන්න එයාට වැඩි වෙලාවක් නොගියෙ සුරංගනාවියක් ඉස්සරහා පාලනේ වෙන්න පුළුවන් හිතක් මට එදත් අද වගේම නොතිබුණ හින්දා.

මම හෙමිහිට ගිහින් එයාව පිටිපස්සෙන් තුරුල් කරගෙන කම්මුලක් හෙමින් ඉඹින්න ගත්තා. එදත් මෙහමමමයි.එයා ටිකකින් සින්ක් එක උඩින් ඉඳගෙන මාව ලඟට අරන් නොඉවසිල්ලෙන් වගේ සතුටු වුණා. නොසෑහෙන. ඒ මතකෙ එයාටත් තවම තියෙනවා කියලා මට දැනුණා. කම්මුල් දිගේ සීතලක් දැනෙනකොට මම ඇස් දෙක ඇරලා කණ්ණාඩියෙන් එයා දිහා බැලුවෙ ලෝබකමෙන්.

ඔව්, එයා අඬනවා.හරියටම අපි තුරුල් වුණ පළවෙනි දවසෙ වගේමයි. ඇස් දෙක පියාගෙන එයා අඬන දිහා එයාට තුරුල් වෙලා බලාගෙන ඉන්න මට මහ වෙලාවක් තව නෑ. එයාටත් එහෙමයි. තව පැය දෙකක්වත් අපිට නෑ.සමහරවිට අද මෙතනින් ගියාට පස්සෙ අපිට ආයෙ මුණගැහෙන්න වෙන එකක්ම නෑ.

"මාව ඇඳට එක්කන් යනවද මහත්තයෝ, වඩාගෙන " 

එයා කදුළු වලට පයින් ගහලා හිනාවෙනවා. මම එයාව වඩාගෙන ඇවිත් ඇඳෙන් තියලා එහෙමම එයාට තුරුල් වෙද්දි වෙනදටනම් එයාගෙ කොණ්ඩෙ මගෙ මූණ පුරාවට වැහිලා යනවා. අද එහම කරදරයක් නෑ. 

අපි එහෙමම අපේ ලෝකෙක පැයකට කිට්ටු වෙන්න ඉන්න ඇති. 

"ට්‍රීං ට්‍රීං"

කාමරේ තිබ්බ ෆෝන් එකෙ සද්දෙට අපි දෙන්නම ඇස් ඇරියා. 

"හෙලෝ"

"ලෙඩාව තියටර් එකට ගෙනියන්න වෙලාව හරි සර්"

ෆෝන් එක කණේ තියාගෙනම එයා දිහා බලනකොට කටුව වැහෙන්න ගහපු ප්ලාස්ටර් එකට බර වෙලා හිනාවෙලා,

"මම නැතුව පාළුවට තියෙයි ඔයාට"

කිව්වා.

~~ මයෝ ~~

පවාරණය !!!

නුහුරු නුපුරුදු තපෝ වන මැද 

බවුන් වඩමින් උන්නු හින්දා

පුරුදු සුපුරුදු ලදළු පහසින් 

සමවැදී උන් දැහැන් බින්දා


අගුළු දොරගුළු වසාගෙන හුන්

මැදුර සුවපහසුවට තිබුණා

විවර කල නෙත් පියන් අභිමුව

සඳළුතල ඉරිතලා තිබුණා


විසුල මිහිතල ගිගුරුවාගත්

සහන් පහසට අගුළු වැටුණා

කුමට වැලපෙමි තපෝ වනයෙත්

කුමර බඹසර නිබඳ බිඳුණා !!!

බෝ ගහ යටදි තන මිරිකුවා ජිනරතන !!!


"අඩෙහ්, දස්කොන් ප්‍රමිලා පට්ට ආදර කතාව නේද බන් ?"

"මොකක්?, ඒක කොටුවක් පැනපු සීන් එකක් නෙමෙයිද? "

කතාව පටන් ගත්ත තැනම ඉවර වෙලා බෝතලෙත් ඉවර හින්දා අපි ගෙවල් වල ආවා. දස්කොන් ප්‍රමිලා කතාව එච්චර පට්ට ආදර කතාවනම් එහා ගෙදර සුමනා අක්කා බණ්ඩයියා නැති වෙලාවක් බලලා සයිමන් අයියා එක්ක බැද්දට ගාටන එක අවලමේ යනවා වෙන හැටි මට පැහැදිලි මදි. ඒක ගැන කතාකරන්න ඉඩක් නොලැබුන හින්දා නිකමට කල්පනාකරන්න ගත්තා. එහෙම බලද්දි අපි කවි ලියපු, කතා ලියපු, චිත්‍රපටි හදපු, නිසදැස් ලියපු බහුතරයක් ආදර කතා අවලමේ ගියපුවා. 

ක්‍රිෂ්ණා බටලී වයන එකට වශී වෙලා රාධා එක්ක ආදරෙන් බැඳුනා. ඊට පස්සෙ දෙන්න විරසක වුණා. එතනින් පස්සෙ ක්‍රිෂ්ණා බටලී ගහන එක නවත්තලා රාධා වෙනුවෙන් බලන් ඉන්නවා වෙනුවට බටලී හඬට ඇදුන උන් එක්ක හෝපළු යහන් තලාවෙ අනන්තවත් සැතපුනා.අන්තිමට රාධා ආයෙත් කාලෙකට පස්සෙ ඇවිත් ඒ හෝපළු යහනෙම යහන්ගත වෙන එක එක්ක අපි කවි ලියන්න ගත්තා. එතකොට ක්‍රිෂ්ණා හොඳයි,හැබැයි සයිමා අවුල්. 

මුම්ටාස් වෙනුවෙන් සාජහන් හඳපු මාළිගාව එක්ක උන් දෙන්නගෙ ආදරේ ලන්සුවකට හේත්තු කරලා සාජහන් ඉවර කරනවා. මුම්ටාස්ගෙ නංගි එක්ක පවුල් කන්න පටන් ගන්නවා. අපි ටජ් මහල බලාගෙන තවම අඬනවා හපොයි ඒ ආදරේ කියලා. එතකොට සාජහන් හොඳයි, හැබැයි සයිමා අවුල්.

ගෙදරට ඇවිත් ගෑණි උස්සගෙන යනකල් මුකුත් කරගන්න බැරුව, වානරයෙක් එවලා ගෑණි එක්කරගෙන ගිහින්, උස්සගෙන ගිහින් හිටිය කාලෙ උස්සන් ගිය එකා එක්ක නිදාගත්තෙ නෑ කියලා ඔප්පු කරපන් කියපු රාමගේ ආදර කතාව සුපිරි. ඒක තමා ආදරේ. එතකොට රාමා හොඳයි,හැබැයි සයිමා අවුල්. 

සීගිරියෙ ඇන්දෙ කාශ්‍යප රජතුමාගෙ බිසෝවරු ටිකනම්, ඔතන රජාට නොදැනුණ කතා තිබ්බෙ නෑ කියලා කොහොම පිළිගන්නද?සමහරවිට අතින්වත් අල්ලපු නැති, ඇස් කොනකින් ඉඟියක්වත් නොදුන්න, ටජ්මහල් හදන්න බැරි වුණ කතා තියෙන්නත් ඇති, වැනුවෙ නැතුවට පතරංගෙට කවි පොත් වල. හැබැයි සයිමත් අවුල්, අත නොතියා මල තලලා, පෙකණියට උඩින් ලපයක් තිබ්බනම් තවත් ලස්සනයි කියලා නොකියා, තියලා යන්න ගිය, චිත්‍ර ඇඳපු එකත් අවුල්.ඒවා අවලං, එවා කතා නෙමෙයි. ඒවට කවි නෑ ඕසෙට.

මටනම් හිතෙන්නෙම ගෙට ගත්ත අධිකාරම එක්ක සෙල්ලම් රජාට හොරෙන් කරපු එක අහුවෙලා මැරෙන්න වෙච්ච එක ඇතුලෙ ඔය කියන තරම් කතාවක් තියෙනවනම් සයිමන් අයියගෙයි සුමනා අක්කගෙයි කතාවට කවි ගී ලියවෙනවා හොඳටෝම මදි කියලා. 

අහු වුණේම එකයි. ඒ " කෝමාරික, සිද්ධාර්ථ ". වැයුනත් මදි, ගැයුණත් මදිද මන්දා. කොහොම වුණත් ඉවර වෙච්ච විදිය තමා අපූරුම. 

"බෝ ගහ යටදි තන මිරිකුවා ජිනරතන,

කෑ ගෑවාය මහ ගෑණිය වෙසඟ දින"

~~ මයෝ ~~