Friday, December 16, 2022

 "විසිකරපිය බල්ලෝ ඕක අහකට"

ඒත් එක්ක වැදුණ කණේ පාරට එක බිංදුවක්වත් නැති වෙන්ඩ කුප්පිය විසිවෙද්දි ඒකි මාත් එක්කම බිම ඇදගෙන වැටුණා. 

"දඩාවතේ ගිය බැල්ලියක් හින්ද වහ බොන්ඩ තරම් හරකෙක්ද යකෝ උඹ?"

එහෙම පටන් අරගෙන ඒකි බැනගෙන බැනගෙන යද්දි එතනින් එහාට කතාකරන්ඩවත් උත්තර දෙන්ඩවත් ඉඩක් මට එතන තිබුණෙ නෑ.

"නැගපන්,මන් ඉස්පිරිතාලෙට යන්නෙ"

මම නැන්ගා. අපි යන්ඩ පටන් ගත්තා.

"ඒකිට උඹ හොඳ වැඩී,පරට්ටි."

"උඹ කට වහනවද,මම බහින්ඩද?"

"ඉස්කෝලෙ කාලෙ ඉඳන් පස්සෙන් වැටි වැටී හිටියට ඔහොම වෙලා මදි උඹට.ලැජ්ජා නැතිකම මොකද්ද එකටත් වඩා ලොකුයිලුනෙ,රෙද්ද"

එතනින් එහාට ඉස්පිරිතාලෙට යනකල්ම ඒකි කරේ සිගරට් උරවපු එක.එකක් නිවෙද්දි තව එකක්.

"බකන්නිලාගෙන ඉන්නෙ නැතුව අල්ලපන්,අද විලිසන් මාමා නෑ බොඩිය දාගන්ඩවත්"

මෝචරිය ඉස්සරහ ගහකට හේත්තු වෙලා හිටිය මම මිනිය දාලා තිබ්බ ට්‍රොලිය ඇල්ලුවා නෙමෙයි.ඇල්ලුනා.

මල් ශාලාවට ඇවිත් සිගරට් එක කටේ ගහගෙන,සිලින්ජරෙන් ෆෝමලින් ගහ ගහ මස් වැදැල්ලක් එක්ක ඔට්ටු වෙන මේකිගෙන් ඉස්කෝලෙ කාලෙ තිබ්බ ගෑණු ගති සේරම මැකිලා ගිහින්.

"උඹ ආවෙ නැත්තන් මේකට කලින් උඹට මාව කපන්ඩ තිබ්බා"

"එහෙනම් මන් මුලින්ම කපන්නෙ උබේ අහවල් එක"

"උඹට තනියෙන් මේ රෑ තිස්සෙ මිනී එක්ක ඔට්ටු වෙන්ඩ බය නැද්ද?"

"බයයි කිව්වොත් උඹ මගෙ මැරිච්ච තාත්තා ගෙනත් මේ එම්බාම් එක කරවනවද?,අර ඔත්පල වෙලා ඉන්න ගෑණිට කන්ඩයි බෙහෙත් ටිකයි ගෙනත් දෙනවද? "

මට ඒකට උත්තරයක් නෑ.

"දැන් අරකි බැඳපු එකා මොනවා කරන එකෙක්ද?"

"ලොකු බිස්නස් කාරයෙක්ලු,ලොකුවටම වෙඩින් එකත් ගත්තෙ උගෙ සල්ලි වලින්,කොළඹදි හම්බෙච්ච එකෙක්"

"ගෑණියෙක් දාලා ගියා කියලා මැරෙන්ඩ ඕනෙනම් කන්ඩ බොන්ඩ මිනී කපන්ඩ වෙච්ච මම මොනව කරගන්ඩ ඕනෙද යකෝ?"

ඇත්තටම ඒකි කියන්නෙ සහතික ඇත්ත.ලස්සනට සුදු ගවුම ඇඳගෙන පන්තියෙ ඉස්සරහ ඉඳගෙන හිටිය පොඩි එකී,අද රාක්සයෙක් වගේ මිනී කපනවා.

"මම බොඩිය ගෙනිහින් දාන්ඩ යනවා,උඹ එනවද?"

"යන්"

"මහත්තයා බොඩිය හරි,මහත්තයලා ඉස්සරහින් යන්ඩ,අපි පස්සෙන් එන්නම්,ගණන් හිලව් හත් දවසට කලින්වත් බේරුවොත් මටත් ලේසියි"

ඒකි හැඩිදැඩි පිරිමියෙක් පරද්දපු ගෑණියෙක්.

"උඹ දැන් මොකද කරන්නෙ?"

"මම රස්සාව දාලා ආවෙ,යන්ඩ තැනක් ඉන්ඩ තැනක් මට නෑ"

මිනිය ගිහින් දාලා එනගමන් ගත්ත බෝතලේ හිස් කරන ගමන් අපි කතාකරේ එච්චරයි. එතනින් පස්සෙ මට මිනියක් කපන එක, මෙච්චර ලේසි වැඩක් වෙයි කියලා මම හිතුවෙත් නෑ. දැන් ඒකි මිනී කපන්නෙ නෑ.

"වඩින්න අපෙ හාමුදුරුවනේ"

"විල්සන්,අර සුදු රෙද්දක් ගෙනෙන්"

"මහත්තයෝ මේක ලොකු පුණ්‍යකර්මයක්"

"දැන් මාස දෙක තුනක ඉඳන් එහා ගමේ මෙහෙණි ආරණ්‍යට වෙලා හිටිය උපාසක අම්මෙක් හදිසියේම නැති වෙලා.නැති වෙලා කිව්වට එල්ලිලා මැරිලා.අපිට මේ මරණ කටයුත්තට උපකාරයක් කරන්ඩ පුළුවන්නම් ඒක ගැන කතාකරගන්ඩයි මන් මේ ආවෙ"

"එහෙමයි හාමුදුරුවනේ"

"ආයෙ එන්ඩ නෑදෑයෙක් මල්ලෙක් නෑ.එම්බාම් කරලා පෙට්ටියක තියලා,පාන්සකූලෙ දීලා පොදු කනත්තෙ වලදාගන්ඩයි හිතුවෙ"

" එහෙමයි හාමුදුරුවනෙ,දැන් මරණෙ කොහෙද තියෙන්නෙ කිව්වනම් මම ඒ වැඩ ටික ලෑස්ති කරන්නම්."

"පොලිසියෙ මහත්තුරු ඇවිත් මරණ පරීක්ශණ වැඩ වලට ඉස්පිරිතාලෙට ගෙනිච්චා.දැන් ඉස්පිරිතාලෙ වැඩ ටික නම් ඉවර ඇති"

"විල්සන්,මේ මහත්තයෙක් එක්ක වාහනේ අරන් ගිහින් මරණෙ ගෙනත් එම්බාම් වැඩ ටික ඉවර කරපන් ඉක්මණට"

"එහෙනම් මහත්තයො මම ගිහින් එන්නම්.බොහෝම පින්"

"එහෙමයි හාමුදුරුවනේ"

"එම්බාම් එකනම් ඉවරයි මහත්තයො,ලස්සන කෙල්ල.ඉටිරූපෙ වගේ"

"ආ ඇත්තද?අපරාදෙ උඹට එල්ලෙන්ඩ කලින් හොයාගෙන ගිහින් කරගහගන්ඩ තිබ්බෙ " 

කියාගෙන මමයි නෝනයි පෙට්ටිය ලඟට ආවෙ හාමුදුරුවොන්ගෙ වැඩේ හින්ද පන්සලටත් ගිහින්ම එන්ඩ හිතාගෙන.

"හත්දෙයියනේ ....."

"ඔයාගෙ කණට ගහන්ඩ මට එන්ඩ හම්බුණාට,මේකි එල්ලිච්ච ලණුව කපන්ඩ කවුරුත් ඉන්ඩ නැතුව ඇති දෙයියෝ"