Tuesday, November 21, 2017

"පෙර දිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා"

"පෙර දිනයක මා පෙම්කල යුවතිය සිය පුතු නලවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා"

අමරදේව මහත්තයා ගායනා කරන මේ ගීතය මුලින්ම අහන දවසෙ මම හිතුවා මේ තමන්ගෙ පෙම්වතිය අහිමි වුනු පෙම්වතෙකුගෙ විලාපයක් කියලා. ඇය ඔහුගෙන් වෙන්වෙලා ගිහින් වෙන විවාහයක් කරගෙන දරුවෙක් ලැබිලා තමන්ගෙ කලින් පෙම්වතා ලියලා දුන්න ගීතයක් ගයමින් තමන්ගෙ දරුවා නළවනවා. මේ නැලවිලි ගීය අහම්බෙන් එතනින් යන ඇයගෙ කලින් පෙම්වතාට ඇහෙනවා සහ එහිදි ඔහුගෙ හිතේ ඇති වෙන හැගීම් මේ ගීය ඇතුලෙ ලඝු වෙනවා කියන හැගීමක්. ඇත්තටම රචකයා මේ අකුරු කරන්නේ ඒ හැගීමද? එය ඉන් හාත්පසින්ම වෙනස් විය නොහැකිද?

"පෙර දිනයක මා පෙම් කල යුවතිය" 

කලකට පෙර හමුවෙන පෙම්වතිය ගැන පෙම්වතා මතක් කරන්නෙ මෙහෙම.එදා ඔහු පෙම් කල පෙම්වතිය අද තමන්ගෙ පුතා නලවනවා. ඒ තමන් එදා ඇය වෙනුවෙන් ලියලා දුන්න ගීතයක් ගයමින්. මේ ගීතය ඈතින් පෙම්වතාට ඇහෙනවා. ඇත්තටම දැන් ඔහු ඇගේ පෙම්වතා නෙමෙයි. ඇය විවාහකයි.ඇයට දරුවෙක් ඉන්නවා. ඇය තමන්ගෙ කලින් පෙම්වතා ලියලා දුන්න ගීතයක් ගයමින් දරුවා නලවන්න හේතුව මොකක් වෙන්න ඇතිද?සමහරවිට ඇය තවමත් හිතෙන් ඒ කලින් පෙම්වතාට පෙම් කරනවා ඇති. 
ඔව්.
මොකද ඔහු අද ඇගේ පෙම්වතා නොවුනත් ඔහු අද ඇගේ සැමියා. මේ නැලවෙන්නේ ඔවුන් දෙන්නගෙම පුතා.

"නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන දයාව වෑහෙනවා"

එදා පෙම් කරන කාලෙ ඇගේ ලස්සනට වශී වෙලා පෙම්වතා ඇය දෙස බැලුවෙ නුරාවෙන්. ඇය පෙම්වතා දෙස බැලුවෙත් නුරාවෙන් මත් වෙලා. ඇගේ දෙනුවන් වලින් පෙම්වතාට ආරාධනා කලේ අනුරාගික ඇසුරකට බව ඔහුට මතකයි. නමුත් ඒ නෙත් දෙකෙන්ම අද ඇය තමන්ගෙ දරුව දෙස බලන්නේ දයාවෙන්,කරුණාවෙන් සහ අපරිමිත සෙනෙහසකින්.  ඒ දයාව කැටිකරගත් නෙත් දෙකේ වෙනස ඔහුට දැනුන බව තේරුණ නිසා වෙන්න ඇති ඔහු හිනැහෙනකොට ඇය අවිහින්සක ලෙස ඔහුට කෝළ බැල්මකින් සන්ග්‍රහ කරලා නතර වෙන්නේ. ඒ හැගීම රචකයා අකුරු කරන්නේ 

"සිනාසුනෙමි මම අවිහින්සක ඇය කෝළ බැලුම් හෙළුවා"  

කියලා.

කාලය ඉතා ඉක්මනින් ගතවෙලා. එදා පෙම්වතුන් වෙලා හිටිය ඔවුන් අද විවාහ වෙලා දරුවන් ලබලා. මේ ගතවුණ කාලය ඇතුලෙ කොච්චර දේවල් වෙනස් වෙලාද. හිරුට සදුට හොරෙන් කාලය ගෙවිලා ගිහින් වගේම කාලය ගොඩක් දේවල් වෙනස් කරලා.එදා සුරගනක් වගේ හිටිය, හැමවෙලාවකම තමන්ගේ ලස්සන වැඩි කරගන්න දගලපු,ලස්සන ඇදුම් අදින්න වෙහෙසුන ඇය අද ඒ දේවල් පැත්තකින් තියලා ජීවිතේට මුහුන දෙන්න පටන් අරන්. පෙම්වතා එදා දැකපු රූ සපුව කාලයත් එක්කම ඇගෙන් වෙන්වෙලා ගිහින් අද ඔහු ඉදිරියේ පරිණත ගැහැණියක් නිර්මාණය වෙලා.

"හිරුට සදුට නොකියා හොර රහසේ කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරු කෙමෙක් මැකී යනවා"

මේ පරිණත ගැහැනිය නිර්මාණය වුණේ කොහොමද කියන එක මහලොකු ප්‍රශ්ණයක් නෙමෙයි. ඒකට උදව් වුණ අතීතය පෙම්වතාට මතකයි. ඔහු සිහිකරනවා එදා ඔවුන්ගෙ ආදරයට දෙමව්පියන් විරුද්ධ වෙලා ඇයව හොරෙන්ම කසාද බැදලා කැන්දගෙන එනකොට සාක්කියට හිටියේ ඉස්සරහ වැට අද්දර පිපුන අර නාමල් ටිකම නේද කියලා.

"එදා වගේ තවමත් වැට අද්දර නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය යළි මට සිහි වෙනවා"

එදා එහෙම ඇවිත් රස්සාවක් නැතිව කන්න බොන්න විදියක් නැතිව දුක් විදිනකොට පිපුන නාමල් අදත් ඒ විදියටම පිපෙනවා. ඒ මල් දකින වාරයක් ගානෙ මේ පෙම්වතා සහ පෙම්වතිය එහෙමත් නැතිනම් අඹුසැමි දෙපළගෙ මතකෙට එන්නෙ තමන් එදා විදපු නිරා දුක්කම් කටොළු. 

මේ ඒ දුක් වලට සමු දීලා අද සැනසුම් සුසුම් හෙලන පෙම්වතකුගෙ සහ පෙම්වතියකගෙ මුල මැද අග ගැලපුන කථාවක මිහිරි වැනුමක් රචකයා හරි අපූරුවට පද වැලක අමුණපු තැනක්.


" පෙර දිනයක මා පෙම්කල යුවතිය 
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැළැවිලි ස්වරයෙන් 
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන 
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහින්සක ඇය 
කෝළ බැලුම් හෙළුවා

හිරුට සදුට නොකියා හොර රහසේ 
කාලය වියැකෙනවා
නෙත් අදහන්නට බැරි ලෙස රූ සිරු 
කෙමෙක් මැකී යනවා

එදා වගේ තවමත් වැට අද්දර 
නාමල් පූදිනවා
නොකා නොබී දුක් වින්ද අතීතය 
යළි මට සිහි වෙනවා"













No comments:

Post a Comment