Friday, December 20, 2019

නැද්ද එතනො ?


"නෙරිය අතින් අල්ලගෙන කිමද නගෝ
දෙතන අතින් අල්ලාගෙන කිමද නගෝ
හිමි නැති මග නුඹ තනියම කිමද නගෝ
අම්බලමේවත් නැවතී යමුද නගෝ"

මේ කියන අසම්මත ආරාධනාව ශිශ්ඨසම්පන්න හික්මුන ආරධානවක්‍ යයි හන්වඩු ගසා එයට ලැබෙන පිළිතුර සන්වර ලදකගේ සුන්දර ප්‍රතික්ශේප කිරීමක් ලෙස වමාරන තැන් එමටයි.

"නෙරිය අතින් ගෙන මඩ ගෑවෙන හින්දා
දෙතන අතින් ගෙන බිලිදුගෙ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා "

තමයි ඒ ලස්සන සන්වර යයි කියන පිළිතුර.මෙතනින් පටන්ගෙන මහා බුද්ධිමතුන් ,උගතුන් පඩිවරුන් ආරම්භ කරන්නේ වර්තමාන සමාජයට අපහාසත්මක වචන විසිකරන්න. ඇත්තටම එදාට වඩා අද නරකද? කකියන ප්‍රශ්ණයක් තියෙනවා.

හරි උත්තරේ හම්බෙන එකක් නෑ.හැබැයි කල්පනා කරන්න ගත්තා. එතකොටම ඉබ්බා දියට දැම්මම වෙච්ච එක වගේ එකින් එක පැටලෙන්න ගත්තා.

"එදා වගේද අද, අද ෆෝන් බෑයෙන් මැසේජ් එකක් දැම්මා, හෙට හෝටලෙකට ගිහින් බුදියගත්තා. ඕක තමා අද උන්ගෙ ආදරේ.ඒත් ඉස්සර එහෙම නෑ ......"

රැඩිකල් මහත්තයෙක් එහෙම කියනවා මට ඇහුනා.

එතකොට එදා හොදයිමද?

හද්දා පිටිසරක නොවුනත් අදටත් සරමට යටින් "අන්ඩර් වෙයාර් " එකක් වෙනුවට අමුඩ ලේන්සුවෙ පහස විදින පියදාසලා, රන්බණ්ඩලා, උක්කුහාමිලා එක්ක ඇතිපදම් අතීතාවර්ජනාවලට අවස්ථාව ලැබිලා තියෙනවා.

"මේ අමුඩ ලේන්සුව ගලවපු නැති උන්දැලා මේ ගං හතේ හොයන්ඩ නෑ බොල කොල්ලෝ තොට. ගිහින් අහපිය එහා ගෙදර .... ගෙන්"

බොන්ඩ තියෙන අරක්කු සේරම බීලා ගහන්ඩ තියෙන සූස්ති සේරම ගහලා චූ පෙරාගෙන පච්ච කොටන හුජ්ජ කොල්ලො වගේ ඇණයක් රත් කරලා අම්මා බුදු වේවා කියලා පපුවෙ කොටාගත්ත එවුන් බොරු කියන්නෙ නෑ කියලා මට විස්වාසයි.

එහෙම නැත්තන් පින්කම් ගෙදර ගිහින් එන එතනා ආච්චිගෙන් උන්දෑ

"නැද්ද එතනො ? "

කියලා අහද්දි එතනා ආච්චිගෙ මූණ රතු වෙලා

" පලයං බං අයියේ යන්ඩ"

කිව්වෙ අහවල් එකටද.

රාමා සීතා ආදර කථාවට ආවඩන හැමවෙලාවකම මට හිතෙනවා ලස්සනම ආදර කථාව රාවණා සීතා වෙන්න බැරිද කියලා.මොකද රාමගෙ ආදරේ එච්චරම රමණීයනම් රාවණා ලග ඉදන් බේරගෙන නෙමෙයි අරගෙන ගියාම ගින්දරට පැනලා ඔප්පු කරපන් කියන්නෙ මොනවද කියලා හිතෙනවා. රාවණා නියම පිරිමියෙක් නොවන්නට හේතු කිසිම කියවීමක නැති හින්දා ඈත ඉදන් සීතා ගැන ආදර හීන මවලා එතැනින් නවතින්න ඇති. පරිස්සමට පලයන් කියලා හිත හදාගත්ත ආදර කථාවක් රාවණා එක්ක මැරිලා යන්න ඇති. සමහරවිට සීතට ඒක දැනෙන්නත් ඇති. ඔය කියන ආදර කතන්දරේට නොදෙවෙනිව තමන්ගෙ වයලීන් පන්තියට ආව පොඩි කෙල්ල ගැන ඇතිවෙන අසීමිත ආදරය වෙනුවෙන් ඉකිගසමින් තැවෙන ආදරවන්තයෙක්ගෙ අදහස් එක්ක

"මමයි නුඹේ වියපත් බඹරා"

කියලා ලියවෙනකොට වර්තමානය ඇතුලෙ අතීතයට ප්‍රතිලෝමයක් ඇත්තටම කොහෙන්ද ?

එක බත් එක බෙදාගෙන කාපු ආදරවන්තියට

"හන්තානට පායන හද ලස්සනයිද බලන්න 
ලතාමඩුළු අත වනද්දි එපා අහක බලන්න "

කියලා කැපකරන වර්තමානයට බැන බැන සෙල්ලම් රජාගෙ අගමෙහෙසිය වෙච්ච ප්‍රමිලා එක්ක දස්කොන් අධිකාරම පටන් ගත්ත අසම්මත ඇසුරකට ආවඩන එක ? ගැටළුවක් !

ගම්පෙරලිය කියවන්න වෙලාවක් නොදී එහා ගෙදර එකාට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගනින් කියලා ඉපදුන දවසෙ ඉදන් ලේ වලට කා වද්දලා කැමතිද නන්ගි අහපුවම අම්මගෙන් අහලා කියන්නම් කියන දුවක් බලාපොරොත්තු වෙන එකෙයි වැරැද්ද තියෙන්නෙ කියලා නිකමට හිතෙනවා.

ඔච්චර ඔය කියන තරම් සාජහන්ගෙ හිත ආදරණීයනන්, මුම්ටාස්ට දුන්න ආදරේ මේ කියන තරම් බොකු බඩවැල් ඉරාගෙන යන්න අමරණීයනම් හදපු සොහොනෙ නිර්මාණකරුගෙ ඇස් අන්ද කරලා දාන්න තරම් හිතක් පහළ උනේ කොහෙන්ද කියන ප්‍රශ්නෙ එක්කම මුම්ටාස්ගෙ නන්ගි පහුවදා ඉදන් සාජහන්ගෙ බිසව වෙන්නෙ කොහොමද කියන දෙවනි ප්‍රශ්ණාර්තෙත් කුරුටුගාන්නම වෙනවා.

එදා කුඹුරක් හානකොට, කරත්තෙක යනකොට, ගොයම් ටික කපනකොට කියවුන පද ටික ජනකවි කියලා අද කන බොන ගමන් කියවෙන පද ටික වල් පල් කියන මහලොකු රැඩිකල් විචාරය අසික්කිතයි.උන්ට අත්වැල් අල්ලන උන් හොදයි අඩහැරයක් කියාගෙන යන්න නගුලට බැදගන්න. මොකද එදත් ලියවුනේ කියවුනේ අද වගේමයි.හොද නරක දෙකමයි.හොද ටික අගය කරගෙන ඵලක් නැති ටික හේදුනා කියලා හිතෙනවා.

ඒකයි

"තොල් පෙති දෙක රතු මිරිස්‍ ය
පියයුරු දෙක ටී බනිස් ය
රූපෙන් අන්තිම උසස් ය
ඈ ටයිටස්ගේ මිසිස් ය "

කියලා ගුවන් විදුලියේදි ලියවුනාට තැන තැන කියවුනේ නැත්තෙ.

No comments:

Post a Comment