Tuesday, December 31, 2019

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ !!!


ගුණදාස කපුගේ ගයන රහ හරි අමුතුවට මට දැණුනා. ඉන් එක සින්දුවක් තමා "රුවක් ඇදෙනවා ". එතනින් ගියාම "උතුරු කොනේ නුඹ හිනැහෙන් ". නිදහසක් හම්බ වෙන හැම වෙලාවකම මට හිතෙන විදියට සින්දු අහන්න , ඒ ගැන හිතන්න තියෙන ආසාව හින්දා අහම්බෙන් වගේ ඇහුණ එක සින්දුවක් ගැන ඔහේ කල්පනාවකට වැටෙන්න පොඩි වෙලාවක් හම්බවුණා. එතන එක පාරටම මට දැනුණා තමන්ගෙ පෙම්වතිය වෙන එකෙක් කසාද බැදගන්න යනකොට ඊට කලින් දවසෙ ඒ කෙල්ල හම්බෙන්න ගිය වෙලාවක විවරණයක් මේ කියලා. ගොඩක් තැන් වල මන් එහෙම කියවලත් තියෙන හින්දා වෙන්න ඇති.සමහරවිට ගේය පද රචකයා ලිව්වෙත් ඒක වෙන්න ඇති. ඒ වුණත් මට මොකෝ. අහන්නෙ මමනම් විදින්නෙ මමනම් එක එකාට ඕනෙ විදියට මොකට අහන්නද. විදින්නද. මට ආස හිතුණා මේ විදියට අහගෙන ඉන්න.

" නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ

කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ "

මට ආදරවන්තියක් හිටියා.මීට ගොඩක් කාලෙකට ඉස්සර.ලස්සනයි.හුරුබුහුටුයි. අපි ආදරේ කරන්න පටන් අරන් ගොඩක් කාලයක්.ඒ කෙල්ලට කන්න අදින්න දෙන්නවත් මගෙ අතේ සතයක් නැති වුණත් ගෙවල්වල අකමැත්ත හින්දම අපිට සිද්ධ වුණා හොරෙන් පැනලා එන්න. මගෙ ඉස්සරහ ඉදගෙන එහෙම තමන්ගෙ ආදර කථාව කියන ප්‍රේමවන්තයෙක් මගෙ ඉස්සරහ මැවුණා. මම ඒ කථාව අහන්න පටන් ගත්තා. 

" නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ "

නින්දක් පේන තෙක්මානෙක නැති රැයක්. සද මගෙ ලගට තුරුල් වෙලා අඩන්න පටන් අරන්.ඔව් ඒ ඔවුන් දෙන්නගෙම ප්‍රථම ප්‍රේමය.හෙට උදේ වෙන මිනිහෙක් කසාද බදින්න යන ගෑණියෙක් අද රෑ ඇවිත් තමන් දාලා යන පෙම්වතා එක්ක අඩ අඩ නිදිමරයි කියලා විස්වාස කරන්න මට හිත දෙන්නෙ නෑ. හැබැයි මෙතන ප්‍රේමවන්තියක් අඩනවා.ඔව් ඒ ඔහුගෙ කලින් පෙම්වතිය.දැන් බිරිද.ඉස්සර වගේම අදත් ඔහුට තමන්ගෙ ආදරවන්තිය හදක්. ඒ හද ඔහුගෙ තුරුලට වෙලා මේ රාත්‍රියේ කදුළු මීදුමකට වහන් වෙලා හොරෙන් අඩන්න අරන්.තාරකා දියේ ගිලිලා කියන්නෙ ඇස් දෙක කදුළු වලින් තෙත් වෙලා කියන එක මිසක් වෙන මොකක්ද.ඒ කදුළු වලට පින් සිද්ධ වෙන්න ඇගේ නිල්වන් ඇස් බොද වෙලා. නිල් පාට මැකිලා ගිහින්.කොටින්ම නිල් එළිය නිවිලා ගිහින්.වතුර වැටෙනකොට කොච්චර ලස්සන වුණත් රෝස පෙති කඩන් වැටෙනවා. ඔහුගේ සුන්දර ප්‍රේමවන්තියගෙ රෝස කම්මුල් දෙක කදුළු වලින් නෑවිලා කඩාගෙන වැටිලා. 

උදේ පාන්දර ඔහු යනවා ඇති කළුගල් කඩන්න.එහෙම නැත්තන් මේසන් බාස් කෙනෙක්ට අත්වැඩ දෙන්න.එහෙමත් නැත්තන් මොකක්හරි කුලී වැඩක් කරලා කීයක් හරි හොයාගන්න.ආදරේ කරන කාලේ වගේ නෙමෙයි.ගෙදරට හොරෙන් පැනලා ඇවිත් අද තනියම ජිවිත සටනට මූණදෙන්න වෙලා මේ ප්‍රේමවන්තයින්ට. ඒක හිතන තරම් සුන්දර නැතුව ඇති.උදේ පන්දර ගිහින් රෑට රෑ වෙලා ගෙදර ආව මනුස්සයාගෙ උරහිසේ ඔළුව තියාගෙන නිදි පැදුරට වෙලා අඩන්න ඒ හදට සිද්ධ වුණේ ඒකයි.

"කිලිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ  "

සීතලට කිළිපොලන ගත උණුහුම් කරන්න තියෙන එකම විදිය උඹව තුරුල් කරගන්න එක විතරයි මගෙ මැණිකෙ කියලා ඇස් දෙක පියාගෙන උබේ උණුහුමේ තුරුල් වුණා.මේක හීනයක් වගේ.උඹේ උණුහුමට වෙලා හුරතල් වෙවී ඉන්න මවපු හීන මහ ගොඩක් ඉස්සර තිබුණා.හැබැයි අද ඒ හීන වලට සමුදීලා ජිවිත සටනට මූණ දෙන්න කෙසේවෙතත් උඹටයි මටයි කන්න හාල් කිලෝ එකයි පරිප්පු කාලයි අරන් එන්න හෙට උදේම නැගිටලා මට යන්න වෙනවා.උඹට ගෙදර දොර වැඩ කරගන්න තනියම පුළුවන් වුණත් බැරි වුණත් හුරු වෙයන් මැණික ඒකට.ඒක උබේ ලැබීම.

" රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොඳුර ඒ මගේ "

මුළු රෑම මේ විදියට ගෙවිලා ගිහින්.සද නිවිලා ගිහින්.ඔව් .උබට දන්නෙම නැතුව නින්ද ගිහින්.ජීවිතේ අපිට තව සෑහෙන දුරක් යන්න ඉතුරුයි.ඒ ඉස්සරහට එන ජීවිතේට ලෑස්ති වෙන්න මට උබේ තුරුලෙන් නැගිටලා පුරුදු රස්සාවට යන්න වෙනවා.උබව ඇහැරවන්න මට ලෝබයි.ඒ හින්දා උබට මේ අස්වැසිල්ල ඉතුරු කරලා මම හෙමින් නැගිටින්නම්.උබ පුන්චි එකියක් වගේ නිදාගෙන ඉන්නෙ මගෙ පපුව බදාගෙන.මල් පොකුරු පිපිලා තිබුණා මතකයි මට උබේ හිසේ.ඒත් අද තියෙන්නෙ කම්කටොළු ගොඩක් විතරයි.ඒ දුක් කම් කටොළු දරාගෙන මාත් එක්ක දුක් විදින යකඩ ගෑණිට මන් අද දෙන්නෙත් එදා ඒ හුරතල් පුන්චි කෙල්ලට දුන්න හාදුවමයි.උඹ ඇහැරෙනකොට මම පුරුදු විදියට ගල් කොරියෙ ගල් කටුවයි මිටියයි එක්ක පොරබදනවා ඇති.එහෙම නැත්තන් සිමෙන්ති ගඩොල් එක්ක ජීවිතේ හොයනවා ඇති.උඹට දැනෙනවා මට විස්වාසයි මන් උබට දුන්න හාදුව.සොදුරිය උබ මට එදා වගේමයි අදත්.උබට දැණුන ඒ හාදුව මගේ.එදා වගේ ගොඩක් නෑ.එකම එකයි.

සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ !!! 

කීපාරක් එකම සින්දුව ඇහුනද මන් දන්නෙ නෑ.සූස්තියෙ බලේ ගිහින් පියවි සිහියට එනකොට එහෙම හාදුවක උණුහුම කොහොම ඇතිද කියන එක ඇරෙන්න වෙන කිසි දෙයක් මතකෙනම් තිබ්බෙත් නෑ.

No comments:

Post a Comment