Wednesday, December 25, 2019

ශාන්තිනී !!!

නිමාවුණු යුද්දයත් එක්ක  ජාති කුල මල තකන්න අවසර නොදුන් අසම්මතයැයි සම්මත මානුෂීය ගනුදෙනු කීයක්නම් නිමාවෙන්න ඇතිද? කුල මල ටිකට හෙන ගහපන් කියලා යාපනේ ආදරවන්තියො කීදෙනෙක් වවුනියාවෙන් මෙහාට ඇවිත් පවුල් කනවා ඇද්ද? සෙනෙහෙලතාලා කීදෙනෙක් වවුනියාවට එහා ඉඳන් තමන්ගේ දමිළ ආදරවන්තයා එක්ක මිදුලේ කෝළම් රටා ඇඳිනවා ඇද්ද? ඒ අතරෙම සින්හල දෙමළ ආදර කථා කීයකට කනකොකා හඬන්න ඇද්ද?

ඒ අතර ශාන්තිනිත් ඉන්නවා කියන එක ශාන්තිනීගේ ආදරවන්තයත් දන්නවා. මන්නාරමට නිවාඩුවක් ගතකරන්න යන නව යෞවනයෙක් ඉන්ග්‍රීසි පන්තියෙන් හොරෙන් පැනලා ශාන්තිනි බලන්න යනකොට ආදර කථාවකට මුල පුරන්න තියා හිනාවකට එහා කථාවකටවත් අවකාශ නැති වෙන්නෙ ඇය ශාන්තිනී හින්දා. හැබැයි ආදරේට භාෂාවක් නෑ කියන  එකේ ඒ ආදර කථාව පටන් නොගෙන තියෙන්න විදියක් නෑ. ඔව්,ඒ ආදරේ පටන් ගත්තා ටික කාලෙකට වුණත්. නිවාඩුව ඉවර වෙලා උසස් පෙළ ප්‍රායෝගික පරීක්ශණ සඳහා නැවත ඔහුට ගාල්ලට යන්න වෙනවා. එන්න කලින් දවසෙ නැවත නොයෙන්න යන පෙම්වතා වෙනුවෙන් ශාන්තිනී කඳුළු හෙලනවා. හැබැයි ඒ කඳුළු පෙම්වතා තමන් ලග නවත්තගන්න තරම් ප්‍රභල නෑ. කාලෙකට පසුව යුධ ගිනි ඇවිලෙනකොට භීෂණ සමයක් එක්ක ශාන්තිනීලා , නීලම්ලා වගේම සෙනෙහෙලතාලා,  සුමනෙලා අමු අමුවෙ ඝාතනය වෙනකොට මන්නාරමේ ශාන්තිනී ගැන එවකට ගුරුවරයෙක් වෙන ආදරවන්තයා කල්පනා කරනවා. 

එදා ශාන්තිනී දාලා එනකොට දැණුන හැඟීම එක්ක ගෙවෙන ජීවිත කාලෙට ශාන්තිනීට කරදරයක් වෙලාද නැද්ද කියන ප්‍රශ්ණාර්ථය එකතු වෙනකොට ප්‍රේමවන්තයෙක් හුදෙකලාව විඳවන හැටි , තමන් වැරදිකාරයෙක් කරගෙන හිතෙන් වැලපෙන හැටි අමුත්තක් වෙන්න බෑ. ඔව් රත්න ශ්‍රී වචන අමුණනවා. හරි අගේට මෙන්න මෙහෙම. 

ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඩන චන්දිරන්
පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

අපිට දෙවියන් පිහිට උනාද නැද්ද මම දන්නේ නෑ. සමහරවිට අපි මන්නාරමේ දෙවියන් නැති තැනක අපේ ආදරේ වෙනුවෙන් දෙවියන් යදින්න ඇති. ඒ හින්දා වෙන්න ඇති දෙවියන්ට අපිව පෙනුනෙ නැත්තෙ. ඒ අතපසු වීම කොච්චර බොලඳද කියන එකට වඩා විඳිනු වස් ඒ බොලඳ අතපසුවීම උඩ මැවුන අකුරු ටික එක්ක තනිවෙන්න හිතුණා. ඒක හරියට චිත්‍ර කථාවක් වගේ එකින් එක රූප රටා මවනවා. ශාන්තිනීගෙ කුන්කුම හේදෙන්න පටන් ගන්නවා ඒ කොහොමද කියලා හිතන්න ඉඩක් තියලා.කොහොමද කියලා හිතන්න දෙයක් නෑ. ප්‍රේමවන්තයා නැවත නොයෙන්න යන්න යනකොට ශාන්තිනීට අඬන්නම වෙනවා. හැබැයි ශාන්තිනී අඬනවට වඩා අහසේ ඉඳගෙන චන්දිරන් අඬනවා. චන්දිරන් කියන්නේ ඉතින් ප්‍රේමවන්තයා මිසක් වෙන කවුද. ඇත්තටම ශාන්තිනීගේ කුන්කුම හේදෙන්නෙ චන්දිරන්ගේ කඳුළු වලින්. එතකොට මොකටද චන්දිරන් අඬන්නෙ. ජාති කුල මල පැත්තකින් තියලා හදාගත්ත පාන් පැළට ඇවිලෙන ගින්නේ දුම වැදිලා මිසක් චන්දිරන් මොකට අඬන්නද. ඒ පාන් පැලට ගිනි තියන්න දීලා දෙවියො බලාගෙන ඉඳලා. එක්කො දෙවියො මේ ගැන දන්නේ නැතුව ඇති. ඉතින් ශාන්තිනී අපි දෙවියන් ඉන්න තැනකට යමන් කියන්නේ වෙන කරන්න දෙයක් නැතිව අසරණ වෙලා හින්දා වෙන්න ඇති. ඒත් දෙවියො හොයන එක එච්චර ලේසි නෑ කියලා ටිකකට අමතක වෙන්න ඇති මේ ප්‍රේමවන්තයාට.

ශාන්තිනි තෙමා වැටෙයි නළල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඩන චන්දිරන්
පාන් පැළට ගිනි ඇවිලී අන්න නැගෙන දුම්
ශාන්තිනි අපි දෙවියන් ඇති තැනකට යං 

තිරුවන්ගල් කියන්නේ මොකක් නමුත් ආභරණයක්. කනට පලඳින, එහෙමත් නැත්තන් නහයට පලඳින. මොකක් වුණත් තිරුවන්ගල් එළිය වැටුනෙ කඳුළු වලට. එහෙම වැටිලා කියන කථා ගොඩයි. ඒ කථාවලට භාෂාවක් නැති වුණත් මට ඒවා එකින් එක තේරෙනවා. උඹ තවමත් ඒ කථාව කියනවා, කවියක පද වල අමුණලා. ඒ කවිය කියවගන්න විදියක් මට නෑ. මට යන්නම වෙනවා. ඒත් මේ කවිය කියන උබේ අත් වෙවුලන්නේ මොකද මගෙ මැණික ? මේ දුක උඹට දරාගන්න උහුල ගන්න බැරි තරම් කියලා දැන දැනම ආයෙත් අහන්නේ උඹට මේ දුක් වළලු බර වැඩිද? දරාගන්න බැරි දුක් වළලු අතට දාලා බර වැඩිද අහන එක සාධාරණද කියලනම් නිකමට පොඩි තරහකුත් එනවා. 

කඳුළු උඩට තිරුවංගල් එළිය වැටීමෙන්
උඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
බියේ සැලෙන ඔය දෑතේ වළලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්

ශාන්තිනී මට නැති වෙන්න එකම හේතුව කුල මල , ජාතිභේද, සිරිත් විරිත් වල නොගැලපීම. ඒ ඔක්කොම එකතු කරලා උඹලා තියාගනින්. මට ඒ කිසිදෙයක් එපා. තිරුක්කුරල් පොත දිගඇරලා බලපන්. බලලා කොහේහරි තැනක තිරුවල්නූර් ලියලා තියෙනවද කියලා කියපන් ශාන්තිනී මට දෙන්න එපා කියලා. උඹලගේ සිරිත් විරිත් කුල මල එක්ක පොරබදන්න නෙමෙයි මට නෙලාගත්ත මල සිපගන්න ඉඩ දියන්. ඔව් .ශාන්තිනී මලක්. ඒ මල නෙලාගෙන ඉවරයි. ඉතින් සිපගන්න නොදී ඉන්න උඹලට තියෙන අයිතිය මොකක්ද? 


සියල් සිරිත් දෑ කුළගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙළු මල මට සිඹින්න දෙන්න

මේ ආයාචනා වලට උන්ගෙ පපුවක් උණු වුණානම් කරෝල පෙට්ටියක් කරගහගෙන මන්නාරමෙන් ගාල්ලට ගම්බිම් බලන්න එන්න තිබුණා. එහෙනම් ශාන්තිනී අද ගාලු කොටුව කෝලම් රටා වලින් සරසන්න ඉඩ තිබුණා.  ශාන්තිනිගේ පැටවු උන්ගේ අත්තම්මා බලන්න ගාල්ලෙන් කෝච්චියට නැගලා මන්නාරමට යන්නත් ඉඩ තිබුණා.
ශාන්තිනී අද සතුටින්ලු, සෙල්වම් එක්ක වවුනියාවෙ. 

සතුටින්ලු???

පිලිගන්න හිත හදාගන්නම අමාරුයි. අඬනවා ඇති . මේ පද ටික ඇහෙන වාරයක් ගානේ. 

හිතෙන්.   

1 comment:

  1. ලස්සන අදහස් ටිකක්.

    ReplyDelete