Friday, April 23, 2021

බැන්ඳට වඩා ලාබයි හඳපාන මට !!!

 මාලෙට ලක්සයයි ගවුමට හැටදාහයි

සාරියෙ වැඩ වලට විතරක් විසිදාහයි

ඇඳගෙන එද්දි එළියට හැටපන්දාහයි

නිදිමත නැද්ද ඔරලෝසුව පහමාරයි


පෝරුව උඩදි සුදු පිරුවට ඔතන්නට

බෙර ගහ ගහා වෙස් නැට්ටුවො නටන්නට

හසරක් නැතුව මන්තර ජප කරන්නට

තිස්පන්දාහකට ලාබයි උඩින් මට


මාසෙක ඉඳන් ලාබෙට බෝතල් හෙව්වා

යන එන ගමන් තුන හතරක් මම බිව්වා

කටගැස්මටත් වෙනමම පනහක් ගෙව්වා

වීදුරු වලට ඕසෙට සමහරු පෙව්වා


ගස් ලබු ගෙඩිය එක එක ආරට කපලා

පැණි කොමඩුවට දෙන වද තිස්දෙක දීලා

හැඳි ගෑරුප්පු වතුරත් ලගටම තියලා

හත්දාහකට ලාබයි ඌරත් උයලා


හන්තානේලු මදුසමයට හොඳම තැන

නුවර එළියටලු යන්නෙ දෙවනි දින

ෆොටෝ අරන් හග්ගල ඔය තැනින් තැන

බිල් වල ගණන් මොකටද යන එන ගමන


ගවුමේ උඹේ පොඩි ඇදයක් වගෙ තිබුණා

කජු මාලුවේ හොඳි වැඩි ගතියක් පෙනුණා

විදුලි බුබුළු මදි ගතියක් වගෙ දැනුණා

එහා ගෙදර නැන්දා මුමුණනු ඇසුණා


දුම් දාගෙන කිරි කළයක් හලන්නට

කිරිබත වටේ තනි තරුවක් තනන්නට

කුල්ලයි කැවිලි දහපහළොව ගෙනෙන්නට

හත් අට වතාවක් යන්නට වුණා මට


පිටරට විස්කි බෝතල් කැටි පෙව්වාට

එක එක ජාති මස් පොට්ටනි කැව්වාට

ආගිය එවුන් පම්පෝරිය ගැහුවාට

බැන්ඳට වඩා ලාබයි හඳපාන මට !!!

No comments:

Post a Comment