Thursday, April 15, 2021

මාව ඇඳට එක්කන් යනවද මහත්තයෝ, වඩාගෙන

මම බෑග් එකත් අරගෙන රූම් එක ඇතුලට එනකොට බාත් රූම් එකේ දොර අඩවල් කරලා. එහෙමම ඇතුලට එබිලා බලලා බෑග් එක ඇඳට එහයින් තිබ්බ පොඩි මේස කෑල්ලෙන් තිබ්බා. ශවර් එක ඇරලා වතුර ගලන සද්දෙට මට තවත් බලන් ඉන්න බැරි තැන හෙමින් අඩවල් කරලා තිබුණ දොර ඇරගෙන බාත් රූම් එක ඇතුලට ගියෙ ඉබේටම වගේ. 

ඇත්තටම එයා ලස්සනයි. අපි පළවෙනියටම දැකපු දවසෙ ඉඳන් මේ වෙනකල්ම මට ඒ ලස්සනේ අඩුවක් පෙනිලා නෑ. මම මුලින්ම එයාව තුරුල් කරගෙන ඉඹිනකොට එයා කලේ මගෙ පපුවට තද වෙලා අඬපු එක. එදා ඉඳන් අද වෙනකොට අපි සෑහෙන දුරක් ඇවිත්. අද මන් එයාව ඉඹිනකොට එයා අඬන්නෙ නෑ. මාත් එක්ක හුරතල් වෙනවා මිසක්. මූණට වැටිලා තිබුණ කොණ්ඩ ගස් දෙකතුන කණ්ණාඩියට හොරෙන් උඩට දාගෙන සින්ක් එකට බර වෙලා එයාගෙ ලස්සන බලනවා. අවුරුදු පහකට විතර කලින් මම දවසක් මේ විදියටම එයා දිහා බලාගෙන හිටියා. එදා එයා ඇඳගෙන ඇවිත් හිටියෙත් විනිවිද පේන කොට ගවුමක්. ගවුමෙන් සුදු පාට තුවායට මාරු වෙන්න එයාට වැඩි වෙලාවක් නොගියෙ සුරංගනාවියක් ඉස්සරහා පාලනේ වෙන්න පුළුවන් හිතක් මට එදත් අද වගේම නොතිබුණ හින්දා.

මම හෙමිහිට ගිහින් එයාව පිටිපස්සෙන් තුරුල් කරගෙන කම්මුලක් හෙමින් ඉඹින්න ගත්තා. එදත් මෙහමමමයි.එයා ටිකකින් සින්ක් එක උඩින් ඉඳගෙන මාව ලඟට අරන් නොඉවසිල්ලෙන් වගේ සතුටු වුණා. නොසෑහෙන. ඒ මතකෙ එයාටත් තවම තියෙනවා කියලා මට දැනුණා. කම්මුල් දිගේ සීතලක් දැනෙනකොට මම ඇස් දෙක ඇරලා කණ්ණාඩියෙන් එයා දිහා බැලුවෙ ලෝබකමෙන්.

ඔව්, එයා අඬනවා.හරියටම අපි තුරුල් වුණ පළවෙනි දවසෙ වගේමයි. ඇස් දෙක පියාගෙන එයා අඬන දිහා එයාට තුරුල් වෙලා බලාගෙන ඉන්න මට මහ වෙලාවක් තව නෑ. එයාටත් එහෙමයි. තව පැය දෙකක්වත් අපිට නෑ.සමහරවිට අද මෙතනින් ගියාට පස්සෙ අපිට ආයෙ මුණගැහෙන්න වෙන එකක්ම නෑ.

"මාව ඇඳට එක්කන් යනවද මහත්තයෝ, වඩාගෙන " 

එයා කදුළු වලට පයින් ගහලා හිනාවෙනවා. මම එයාව වඩාගෙන ඇවිත් ඇඳෙන් තියලා එහෙමම එයාට තුරුල් වෙද්දි වෙනදටනම් එයාගෙ කොණ්ඩෙ මගෙ මූණ පුරාවට වැහිලා යනවා. අද එහම කරදරයක් නෑ. 

අපි එහෙමම අපේ ලෝකෙක පැයකට කිට්ටු වෙන්න ඉන්න ඇති. 

"ට්‍රීං ට්‍රීං"

කාමරේ තිබ්බ ෆෝන් එකෙ සද්දෙට අපි දෙන්නම ඇස් ඇරියා. 

"හෙලෝ"

"ලෙඩාව තියටර් එකට ගෙනියන්න වෙලාව හරි සර්"

ෆෝන් එක කණේ තියාගෙනම එයා දිහා බලනකොට කටුව වැහෙන්න ගහපු ප්ලාස්ටර් එකට බර වෙලා හිනාවෙලා,

"මම නැතුව පාළුවට තියෙයි ඔයාට"

කිව්වා.

~~ මයෝ ~~

No comments:

Post a Comment