Thursday, September 9, 2021

ළමයි තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක් නේද? ලැජ්ජ නැද්ද මිනිහෙක් එක්ක මෙහෙම නටන්න ?

 "ඔයා කීයටද මාව ගන්නෙ?"

"මම හරියටම පහයි තිහ වෙද්දි එන්නම් ඔෆිස් එක ලඟට. තවම ඉන්නෙ කටුනායක"

ඉස්සරනම් ඉස්කෝලෙ ලඟට වෙලා,නැත්තන් ටියුශන් එක ලගට වෙලා පැය ගණන් හිටගෙන ඉඳලා එයා එළියට එනකොට මම හෙම්බත් වෙලා. ලෝකෙටම හොරෙන් ලියපු ඒ ආදර කතාවට අදත් මම පිස්සෙක් වගේ ආදරෙයි. එයාගෙ අම්මා තාත්තා එයාව මගෙන් ඈත් නොකරන්න අපිට මෙහෙම තීරණයක් ගන්නවත්, මට කාන්තාර වල කඹුරන්න වෙන්නවත් නැතිවෙන්න තිබ්බ ඉඩ වැඩියි. ඒත් ඒක තමයි උරුමෙ කියලා අපි හිත හදාගත්ත වාර අනන්තයි,ඈතට වෙලා.ඒක අපි දෙන්නටම නොරහසක්. 

අපි ඈත් වෙලා දැන් අවුරුදු හතරක්. ඒ ඇස් දෙක මගෙ ඉස්සරහ තියෙනවා දකින්න,ඒ ඇස් දෙකේ මන් වෙනුවෙන් පිරුණු ආදරේ හොයන්න ,පොඩි කෙල්ලෙක් වෙලා මගෙත් එක්ක හුරතල් වෙනවා විඳින්න අපිට ඈත් වෙන්න වුණ දවසෙ ඉඳන් අපි දෙන්නම ඇඟිලි ගණිනවා, අද වෙනකල්ම.

අන්තිමට අද ඒ දවස ඇවිත්.හරියටම පහ වෙද්දි මම එයාගෙ ඔෆිස් එක ලඟ.කාලෙකින් අපි අපේම වෙලා ඉස්සර වගේ ආදරෙන් හුරතල් වෙවී ඉන්න යොදාගත්ත ගමනට තව පැය බාගයයි. 

"මම ඇවිත් ඉන්නෙ"

"හරි පැටියො.මම එනවා"

ටික වෙලාවකින් ඔෆිස් එකෙන් එළියට ඇවිත් වාහනේ දිහාවට ඇවිදන් එනකොට මට ඇස් අහකට ගන්න හිතක් නෑ. ටැක්සියෙ ඩ්‍රයිවරුත් එයා දිහා නොබැලුවා කියලා මම හිතන්නෙ නෑ. මට ඒක පොඩි ආඩම්බරයක් වගෙත් දැණුනා. ගෙවල් හදලා, ළමයි හදලා, උන්ට උගන්නලා රස්සා කර කර දහදුක් විඳින්න ඕනෙ ගෑණියෙක් නෙමෙයි එයා.එහෙම දුක් වින්දත් ඉස්සර වගේමයි ඒ ලස්සන.තනියම කල්පනා කරේ මට ඒකට කරන්න කියලා දේකුත් ඉතුරු වෙලා තිබ්බෙ නැති හින්දා.

"එයා මේ ලෝකෙ ලස්සනම ගෑණි නෙමෙයි.හැබැයි එයා මේ ලෝකෙ ලස්සනම ගෑණුන්ගෙන් කෙනෙක්"

මගෙ හිත එහෙම කෑ ගහනවා.

නුවරඑළියට යනකල් අපි මහ ගොඩක් දේවල් කතාකලේ නෑ.මම එයාගෙ ලස්සන බල බල හියා විතරයි.සමහරවිට මම නරුමයෙක් වගේ එයාව රසවින්දා කිව්වොත් වැරදි නෑ. අවුරුදු හතරකට කලින් අපි ඈත් වෙලා යනකොට හිටියට වඩා මෝරලා හිටියත් ඒ ලස්සන වැඩි වෙලා මිසක් දශමෙකවත් අඩුවක් වෙලා නෑ.

"මොකද මෙච්චර හදිස්සි?"

"ඔව් මට හදිස්සියි.ඇයි ඔයාට හදිසියක් නැද්ද?"

"මට ඔයාට වැඩිය හදිස්සියි"

අපි කතාකලේ එච්චරයි. අවුරුදු ගාණක් තිස්සෙ හිතේ හිර වෙලා තිබ්බ ආදරේ එක්ක එයාගෙ උණුහුම හොය හොය ඉඳලා අපි දෙන්න විතරක් බිත්ති හතරක් අස්සෙ තනි වුණාම මොනවා කියලා කතාකරන්නද. 

ඇත්තටම මට හිතාගන්න බෑ මේ ඉන්නෙ ඉස්සර මන් ඉස්සරහ ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි හිටිය ඒ පොඩි කෙල්ලමද කියලා.

"ළමයි තුන්දෙනෙක්ගෙ අම්ම කෙනෙක් නේද? ලැජ්ජ නැද්ද මිනිහෙක් එක්ක මෙහෙම නටන්න ?"

මම එහෙම ඇහුවෙ ගුරු පාටට හුරු සිවිලිම දිහා බලාගෙන හිනාවෙවී.

"කසාද බැඳපු මිනිහෙක් නේද? ලැජ්ජා නැද්ද ළමයි ඉන්න ගෑණියෙක් එක්ක හෝටල් ගානෙ රිංගන්න? ඒකත් රට ඉඳන් එන ගමන් ගෙදරවත් නොයා"

එයා එහෙම ඇහුවෙ එයා මේ ලෝකෙ ආසම කරපු පපුවට හරියටම අවුරුදු හතරකට පස්සෙ මූණ ඔබාගන්න ගමන්.

අපි දෙන්නම හිනාවුණා.මහ හයියෙන්. ටිකකින් පපුව තෙත් වෙනව දැනුණත් මම නොදන්නවා වගේ උඩ බලාගෙන හිටියා. 

අපි එහෙමම පැයකට වඩා ඉන්න ඇති මයෙ හිතේ.එයා බෙඩ් ශීට් එක ඇඟේ ඔතාගෙන නැගිට්ටෙ රින්ග් වෙන ෆෝන් එක ගන්න.

"අම්මෙ , ඔයාගෙ පිටරට ඉඳන් ආව ආදරවන්තයා එක්ක සතුටු වෙලා ඉවරනම් හෙට කීයටද ගෙදර එන්නෙ කියනවද?"

කියලා තරහින් වගේ අහන්නෙ එයාගෙ ලොකු දුව. 

ඉස්පීකර් ඔන් කරලා ෆෝන් එක ඇඳේ අපි දෙන්න මැද.

"හත්දෙයියනේ, දුව කොහොමද දන්නෙ මම ඔයා එක්ක ඉන්නෙ කියලා"

නෑ. එයා එහෙම කිව්වෙ නෑ. 

"ඔන්න තාත්තා ඉන්නවා.එයාගෙන්ම අහගන්න. හෙට ගෙදර එනවද,නැත්තන් එයාගෙ ආදරවන්තිය එක්ක තව දවසක් සතුටු වෙලාම එනවද කියලා "

"අපි හෙට රෑ කෑමට ගෙදර එනවා පැටියෝ."

කියලා මම අපේ දුවට කිව්වා.

No comments:

Post a Comment