Thursday, September 9, 2021

වෙඩිමක් ශුවර් නෑ කොටහළු ගේ ගත්තා !!!

කොල්ලට දාසයයි කෙල්ලට දාහතරයි

ෆෝන් එකට කෙල්ලගෙ හැටහත්දාහයි

අප්පගෙ පඩිය මාසෙට විසිතුන්දාහයි

කාඩ් වලට කෙල්ලට දවසට දාහයි


අම්මා සව්දියේ අවුරුදු පහමාරයි

උන්දැගෙ කතා අප්පගෙ හදවත පාරයි

ආගිය කතාවල අප්පත් මනමාළයි

දුම්මල ගෙදර උන්දැට දැන් බර සාරයි


දුව හරි හැඩයි දඟකාරයි කටකාරයි

ගෙට වෙන දවසෙ ඒකිට දහතුනමාරයි

කොටහළු ගෙදර දා ගමටම සිරියාවයි

ඉස්පීකර් වල දඩි බිඩි හඬ මාරයි


ප්ලේට් එකට හයසිය පනහක් ඇතිලූ

ගෙදර උයන එක හරි කොලිටිය නැතිලූ

බයිට් ටිකයි බෝතල් ටිකකුත් ගමුලූ

නැත්තන් ගමේ මාමලා බැන බැන යයිලූ


උත්සවයක්නෙ මලගෙදරක් නෙමෙයිලූ

ගමටම කිව්වෙ නැත්තන් හරි නැහැයිලූ

සවුදියෙ ඉඳන් එනකොට හරි ටයර්ඩ්ලූ

ටැක්සියෙ අයියනම් හොඳටම හොඳයිලූ


කෙල්ලගෙ මූණ සුදු පාටයි රෝස ටිකයි

අම්මගෙ මූණ සුදු පාටයි රතු පාටයි

අප්පගෙ මූණ නිල් පාටයි වෙරි පාටයි

හවස් වෙද්දි සේරම වැඩ හරි පාටයි


නැන්දලා මාමලා ඇවිදින් යන ගානේ

දණ ගහ ගහා වදිනව නිවනක් නෑනේ

කොණ්ඩෙත් කඩලා පාටත් උලලා මූණේ

සව්දියෙ රස්නෙ වැදිලා අඩියක් ගානේ


හවසට එන්නෙ අම්මගෙ හිතවත් අයලූ

කේටරින් එකේ අයියත් එනවාලූ

ඉමෝ එකෙන් ඇරයුම්පත් බෙදුවාලූ

කෝල් එන්නෙ දවසම ඒ අයගෙන්ලූ


ගමටම තුන් දෙනයි ටියුශන් එකේ එකයි

දහම් පාසලේ ඉරිදට එකම එකයි

යන එන ගමන් පාරෙදි කොන්දොස්තරයයි

බෑන්ඩ් එකේ අයියයි හරියටම හතයි


කෙල්ලට විසේ හෙනහුරු අපලය හින්දා

මන්තර පාටියක් ගිය මාසෙත් ගත්තා

ත්‍රීවිල් බයික් එහෙ මෙහෙ කැරකෙන හින්දා

වෙඩිමක් ශුවර් නෑ කොටහළු ගේ ගත්තා

No comments:

Post a Comment