Thursday, September 9, 2021

ලස්සන කඳු, අපි නෙමෙයි !!!

"උබේ පවුලෙ කීදෙනෙක්ද?"

"හත්දෙනයි මාත් එක්ක"

"උඹද වැඩිමල්?

"නෑ අයියට පස්සෙ මම"

"උඹගෙ අම්මත් ලස්සන ඇති, උබ වගේම"

"ඔව් ගිණි කිකිළි වගේ"

මුස්පේන්තුකමට එහෙම කියාගෙනම අඩියෙ ඉතුරු වෙලා තිබ්බ ටික ඒකි උගුරට හලාගත්තෙ ගමේ කසිප්පුකාරයෙක් වගේ. 

"අයිය උඹලට සලකන්නෙ නැද්ද?"

"මගෙන් කුණුහරප නාහා මහත්තයා ඉක්මණට ආව වැඩේ කරගන්නවද, මට යන්ඩ ඕනෙ හෙට පාන්දර ගමේ යන්ඩ තියෙනවා"

එතකොටත් අපි දෙන්නම ඇවිත් වැටුණ විදියටම හත් අටපොලකින් ඈඳිගෙන. එතනින් කතාව ඉවරයි, ටික වෙලාවකට. 

"කොහෙද ගම?"

මම එහම ඇහුවෙ සිවිලිමට යටින් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන.

"ඇයි එන්ඩද?"

පැය දෙක තුනකට කලින් පාළමට එහයින් වාහනේට නඟිනකොට මේකි මෙච්චර සැර නෑ.සල්ලි ටික මිට මොලවගෙන ගිහින් දිලිසෙන පර්ස් එකට එබුවට පස්සෙ ඒකිට ඕනෙ ඉක්මණට වෙන එකෙක් හොයාගන්ඩ. නැතුව ගමට යන්ඩ නෙමෙයි. 

"ඇත්තටම ගම කොහෙද?"

"බණ්ඩාරවෙල"

"ලස්සන පළාතක්නෙ"

"ලස්සන කඳු,  අපි නෙමෙයි"

"මට තේරුණෙ නෑ"

"මාව ගත්ත තැනට ගෙනිහින් දාන්න මහත්තයට පුළුවන්ද, නැත්තන් මන් වීල් එකක් අරන් යන්ඩද?"

"යමු"

මම හදිස්සියට ගලවලා දාපු සේරම ඇඳගන්න ඒකිට ගියෙ විනාඩි දෙකතුනයි. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් එක එක ඒවා මූණෙ උලාගනියිද මේ යන්නෙ පාන්දර ගෙදර යන්න ඕනෙ කියලා නිදාගන්නනම්. 

"එහෙනම් මම බහින්නම් මහත්තයා. ආයේ හම්බෙන්න ඕනෙ වුණොත් සතියකට පස්සෙ මේ හරියෙ මම ඉන්නවා. "

"නම්බර් එක දුන්නනම් ලේසියි"

"හෙට උදේට මහපාරෙදි මහත්තයා හම්බ වෙලා මන් මහත්තයට කතාකරොත් නිකමටහරි, මගෙ නොම්බරේ මහත්තයම මට කියලා දෙයි ." 

කියලා ඒකි හිනා වුණා, මුස්පේන්තුවට නෙමෙයි.පපු කැවුත්තෙන්ම මයෙ හිතේ.

"මම එහෙම නෑ"

"රැට මොකෙක්වත් එහෙම නෑ මහත්තයො"

මම හිතුවෙ එතනින් අපේ කතාව ඉවරයි කියලා. සිග්නල් එක දාලා වාහනේ පාරට හරවන්න හැදුවෙ හිස් අතින්ම ගෙදර යන්න. ආයෙත් වීදුරුවට තට්ටු කරනකොට වීදුරුව පාත් කරේ හිස් අතින් ගෙදර ගිහින් මොකටද කියලා හිත හිත.

"මහත්තයා, අර කියපු අයියා, සලකනවා . මට නෙමෙයි, අපෙ  අම්මට. අපෙ පොඩිම එකී උගෙ."

"මට තේරුණේ නෑ"

"ඌ කසිප්පු විස වෙලා මැරිච්ච අපෙ තාත්තගෙ කලින් ගෑණිගෙ."

එතකොටම මොහිදින් බෙග් හීනියට පටන් ගත්තා,

"මිනිසාමයි ලොව දෙවියන් වන්නේ, මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ....."

0

No comments:

Post a Comment