Thursday, September 9, 2021

ඌ උගෙ අප්පගෙ කපාපු පළුව !!!

වෙල් යාය මැද ඇහෙන බටනළා සද්දෙ මට නුපුරුදු නෑ. අවුරුදු පහ හයකින් බටනළාවක් අල්ලලා නැතත් වෙල් යාය මැද තිබ්බ ගල් පොත්තට ගොඩ වුනේ ඒ සද්දෙ ඇහෙනකොට මඟ ඇරලා යන්න හිත හදාගන්න බැරි හින්දා.

ඉස්සර මම හවසට බටනළාව අරන් වැවේ කුඹුක් ගහට නැග්ගම හවස් වරුවම ගමම විඳින්නෙ මගෙ බටනළාවෙන් වෑහෙන රහ. අපි ආදරේ කරේ හරි ලස්සනට. එක සින්දුවකට නෙළුම් මල ගානේ මට හම්බුනා කුඹුක් ගහේ අත්ත උඩට. සින්දු සේරම ඉවර වෙලා ගොම්මන් වේගෙන එනකොට ආයෙත් නෙළුම් මල් මිටියම ඒකිට තෑගි කරල අපි ගෙවල් වල ගියා. පහුවදාට ඒකි නෙළුම් මල් කඩාගෙන බලන් ඉන්නවා,මම එනකල්. නෙළුම් මල් කඩාගෙන සින්දු අහන්න එන යන ගානෙ අපිට තුරුල් වෙන්න කුඹුක් ගහ ඕනෙ තරම් ඉඩ හදලා දුන්නා, කිසි ලෝබකමක් නැතුව අහක බලාගෙන. මඩේ බැහැලා නෙළුම් මල් කඩාගෙන ඇවිත් තුරුල් වෙලා ඉන්නකොට එන සුවඳ වෙලේ බැහැලා ගොයම් අදිනකොට ගොයම් මිටිය උස්සන ගානෙත් මම වින්දේ අත්තම වරද්දන්නෙ නැතුව කුඹුරට බහින්න මට හේතු ඕසෙට තිබුන හින්දා. මගේ ඔළුවට උස්සන ගොයම් මිටිය කමතට ගේන පමාවට ආයෙ හැරුනෙ ඒ සුවඳ තව පාරක් විඳගන්න ලෝබ හිතුණ හින්දා. 

අපේ ඇයි හොඳැයියට සාක්කි දෙන්න ගමේ ගහ කොල ඕසෙට. වැව් ඉස්මත්තෙදි අපි අන්තිමට මුණ ගැහුණ දවසෙ නෙළුම් මල් හම්බුණෙ නෑ මට.ඒකි ආසම සින්දුවටවත්. එදා මට ඉල්ලන්න ඉඩක් නොතියාම ඒකි මට හැමදේම දුන්නා. දිල වැලහින්නක් වගේ අඬ අඬ 

"මාව කැන්දන් යන්න හෙට මනුස්සයෙක් එනවා, උබ මට වයිර බඳින්න එපා"

කියද්දි කුඹුක් අත්තක් වැවට වැටුණෙ මාත් එක්ක අඬන්න කුඹුක් ගහ ලෑස්තියි කියල මට කියන්නද කියලා මට හිතුණ.

එතකොටම බටනළාවෙ සද්දෙ නැවතුණා. 

"බටනලා ගහලා ඉවරද?"

"අදට ඇති"

කියාගෙන ඒ පොඩි කොල්ලා ගල් පොත්තෙන් බිමට පැන්නා. 

"උඹ කැමතිනම් මට පුළුවන් තව ලස්සන සින්දුවක් දෙකක් උගන්නන්න"

"ඇත්තටමද? මේක ඉගැන්නුවේ අම්මා. එයා මීට වඩා දන්නේ නෑ"

"මම කියල දෙන්නම්"

"එහෙනම් යන් අපේ ගෙදරට, දැන් රෑ වුණා, නැත්තන් අම්මා බනී"

මම ඒ පොඩි කොල්ල එක්ක කියව කියව නියරවල් දිගේ ඇවිත් පොඩි බඩවැටියකින් ගොඩ වෙලා වරිච්චි බිත්ති බැඳපු පොල් අතු හෙවිලි කරපු පැළට ගොඩ වෙද්දිම 

"හත්තිලව්වේ"

කියාගෙන පිල උඩට බර දීලා ඒකි හූල්ල හූල්ල වැළපෙන එක අරුමයක් නෙමෙයි. මිදුලේ අයිනක තිබ්බ කොට කෑල්ලට බර දීලා මම බලාගත්ත අත බලාගෙන හිටියා. 

"උඹ කොහෙද මෙහෙ මගෙ දෙයියෝ? මොකදෑ මේ උඹේ හැටි? රැව්ල් වවාගෙන කොණ්ඩ වවාගෙන වැරහැලි ඇඳගෙන මොකද මේ උඹට වෙලා තියෙන වින්නැහිය දෙයියෝ?"

හුල්ලලා හූල්ලලා අන්තිමට අහපු ප්‍රශ්ණ වලට උත්තර දෙන්න මට හයියක් නෑ. 

"උබ මාව අඳුනගත්තද මයෙ මැණිකෙ?"

මට අහන්න පුළුවන් වුණේ එච්චරයි. 

"ඔය රැවුල් ගස් පහ හයකට උඹ මගෙන් හන්ගන්ට බෑ මයෙ දෙයියෝ"

එහෙම කියාගෙන ඒකි චීත්තෙ පොටක් අරගෙන කදුළු පිහගත්තෙ මොකක්දෝ මතක් වෙලා වගේ. 

"උඹට කහට කෝප්පයක් ?"

"එපා මයෙ මැණිකෙ, මම යන්නම්. පොඩි එකාගෙ බටනලාව අහගෙන මන් මේ ආවෙ. මයෙ මැණිකෙ ආසම සින්දුව"

"මට පුරුද්දට ගිය සින්දුව"

"ඔව් ඒක ඇත්ත. ඒ ඒකිට පුරුද්දට ගිය සින්දුව"

"උබ කොහෙ යන ගමනද මේ?"

"මම සයිමව තොලොන්චි කරල අච්චු ඇදලා එනගමන. මහත්තයෙක් රස්සාවට එන්ඩ කියලා එහෙ යන ගමන"

"හත්වලාමේ, මට හදපු කතාවට පස්සෙ සයිමා වැවේ ගිළුණා කිව්වම මට හැක හිතුණා. " 

"ඒ මට උඹ වෙනුවෙන් කරන්න තිබ්බ අන්තිම හරිය මයෙ මැණිකෙ. මම ගොහින් එන්නම්"

කියාගෙන කොට කෑල්ලෙන් නැගිටිනකොට පොඩි එකා ඉස්සරහට ඇවිත්,

"එතකොට මට සින්දු පුරුදු කරන්නෙ නැද්ද?"

"මම වෙන වෙලාවක එන්නම්කො මයෙ පුතේ, දැන් සුනංගු වුනා"

කියාගෙන මම යන්ඩ හැරෙද්දි

"ඌට ආයෙ අමුතුවෙන් උගන්නන්ඩ සින්දුවක් නෑ මයෙ දෙයියෝ. ඌ උගෙ අප්පගෙ කපාපු පළුව"

"හත්තිලව්වේ උඹ මේ කියන්නෙ .."

කියාගෙන ආපහු හැරෙනකොට ඒකිගෙ ඇස් වල මන් අහන්න හැරුණ උත්තරේ ලියලා තිබුණා.

"වාහෙ කඩමණ්ඩියට ගිහින් දැන් එනවා ඇති, කොල්ලගෙ හැඩ හුරුව උබේ රැවුල් ගස් වලට වැහෙන්න නැති කොට මට සමාවෙලා පය ඉක්මන් කරපන් මයෙ දෙයියෝ."

කුඹුක් ගහ වැව ලඟ තවමත් ඉන්නවා, වැව දිහා බලාගෙන. 

~~ මයෝ  ~~

No comments:

Post a Comment