ආර්ථික වශයෙන් ස්ථාවර පවුලකින් පැවතිලා මොනයම් හෝ හේතුවක් මත ආර්ථික වශයෙන් අන්තයටම පිරිහෙන දිහා කරකියාගන්නට දෙයක් නැතිව බලාගෙන ඉඳලා ආයෙත් ආර්ථික වශයෙන් ස්ථාවර වෙන එකයි, ආර්ථික වශයෙන් අස්ථාවර පවුලකින් පටන් අරන් ස්ථාවර වෙන එකයි දෙකක්. මේකෙදි දෙවනි එක පටන් ගන්න මොරාල් එකක් ගන්න එක ලේසියි. ඒකට පාවිච්චි කරන්න පුළුවන් සාධක සුලභයි.හොනට් බයික් එකක්, කාර් එකක්, තට්ටු දෙකක තුනක ගෙයක්, ලස්සනට ඇඳගෙන ඉස්තරම් යැයි සම්මත තැන් වල ඇවිදින,කනබොන තමන්ගෙ වයසෙම කෙනෙක් සරල උදාහරණ.පළවෙනි එක එහම මොරාල් වෙන්න ටිකක් අදිමදි වෙන්න ඉඩ වැඩියි. ඒ නිසා සාපේක්ශව ඒ වැඩේ පොඩ්ඩක් දුලබයි.
කොහොමහරි ඔය දෙවිදියටම පටන් අරන් ගොඩ ගිය මිනිස්සු මේ ලෝකෙ ඉන්නවා. පටන් ගත්තට පස්සේ ඒ දෙකම එකම මට්ටමේ ගේම් දෙකක්. අපිට ලැජ්ජාව පැත්තකින් තියන්න වෙනවා,අපිට මහන්සි වෙන්ඩ වෙනවා,අපිට මුල ඉඳන් දේවල් ගොඩ නගාගන්ඩ වෙනවා,අපිට අලුතෙන් හිතන්න වෙනවා,අපිට පරදින්ඩ වෙනවා,පරදින තැන් වලදි අල්ලගෙන අමාරුවෙන් හරි ඇදගෙන යන්ඩ වෙනවා,අනිත් උන් අපිව ඉස්සර කරන් යන දිහා කානුවක මුල්ලකට වෙලා, පේමන්ට් එකක් අයිනකට වෙලා ටයර් එකකින් විසිවෙන මඩවතුර පාරක් කාගෙන බලන් ඉවසන්න වෙනවා,මඩ පිහාගෙන ආයෙත් ඇවිදින්ඩ වෙනවා, සමහරු ඕකට පිස්සු කියද්දි ,ඕකට පුලුවන්ද බන් ඕක කරන්ඩ කියනකොට දරාගන්ඩ වෙනවා,අතේ කරගැට,දාඩිය ටික,තුවාල ටික අමතක කරන්ඩ වෙනවා, ජීවිතේට නවපු නැති කොඳු, බෙලි අසික්කිත නෑදෑයො,අහල පහළ එවුන් ඉස්සරහා නවන්ඩ වෙනවා.ඒවා දරාගන්න එකම ගේමක්.ටිකක් ලොකු ගේමක්.
මේ සේරමත් එක්ක පස්සෙන් එන පවුලක වගකීමක් කරට ගන්ඩ වෙනවා.එහෙම වෙද්දි බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳගෙන ටවුමෙ ඇවිඳින ගොඩක් එවුන්ට ශෝටක් ගහගෙන කොටුවෙ බඩු පෙට්ටියක් කරගහගෙන එන එක ගේමක් නැති වෙනවා,මහ රෑ වෙනකල් වැඩ කරලා තවත් ටිකක් වැඩ කරන එක ගේමක් නැති වෙනවා,එක එකාගෙ නෙගටිව් අදාල නැති වෙනවා,මහන්සිද බන් අහන්ඩ එකෙක්වත් නැති වෙද්දි "මහන්සියි බන් ,ඒත් ගේම ගහමු" කියලා සිගරට් එකකට කියල නාට්ටාමි එක්ක කයියක් ගහගෙන බඩු පෙට්ටි ටිකක් කරගහගෙන තමන්ගෙ වයසෙ එවුන් ඉස්කෝලෙ ඇරිල එන ටවුමේ දවල් එකහමාරට යන එක ගේමක් නැති වෙනවා,ගන්න ආසාවෙන් ඉඳලා මැරිල මැරිලා එකතු කරලා ගත්ත බයික් එක ගේ හදාගන්ඩ සල්ලි මදි වෙද්දි තඹේකට මායිම් නොකර විකුණලා දාන්ඩ ගැම්මක් එනවා,අම්මා තාත්තා පුළුවන් උපරිමෙන් රැකලා මැරුණ දවසට වටේ එවුන්ට පේන්ඩ අඬන්නෙ නැතුව ඉන්ඩ පට්ට හයියක් එනවා,අම්මා තාත්තා මැරිලත් අඬන්නෙ නැති එකා ගැන ආයේ මොනවා කතාකරන්ඩද කියලා කසුකුසු යද්දි හිනායනවා,මොකෙක්වත් නැති සහෝදරයො එක්ක රුපියල් දාහක් දෙදාහක් එක්ක තනි වුණත් ගේම අතාරින්නෙ නෑ කියලා උන්ගෙ වගකීම් සේරම කරලා ඉවරයක් කරන්ඩ තරම් මොරාල් එකක් එනවා.
එහෙම ඉවරයක් කරපු මිනිස්සු මේ ලෝකෙ සෑහෙන්ඩ ඉන්නවා. උන්ට ආතල් ගන්ඩ වෙලාවක් තිබිලා නෑ.උන් උන්ගෙ තැනට ඇවිත් ආතල් ගන්ඩ පටන් ගන්නකොට වටේ නිකන් උඩ බලන් හිටිය එවුන්ට දරාගන්න ටිකක් අමාරු වෙන එක සරලයි. හදපු ගෙදරක, ගත්ත වාහනෙක,ගොඩනඟපු බිස්නස් එකක තිබ්බ කට්ට පිට උන් දන්නෙ නෑ,ඒක දන්නෙ කාපු එකා.කවුරු කොහොම කිව්වත් ඒ ගොඩ නඟපු ටික තව ඉස්සරහට යවන්ඩ ඕනෙ, රැකගන්ඩ ඕනෙ කියන එක එන්ඩ ඕනෙ බොක්කෙන්.ඒවා උගන්නන්ඩ පුරුදු කරන්ඩ පුලුවන් එව්වා නෙමෙයි.දිලිසෙන වීදුරු ගහලා ඒසී කරපු කාමර යට ගල් බැමි වල ගල් අදිද්දි ආව කරගැට වල වේදනාව දන්නෙ ගල් ඇදපු එකා.ඒ හින්දා ඌට වීදුරුවක මඬ ටිකක් ගෑවුණත් හෝදන්ඩ හිතෙනවා.එහෙම නැති එවුන් වීදුරුවට බුලත් කෙල ටිකකුත් ගහලා තව හිනත් වෙනවා.
ගොඩ යන එක ගේමක්.අවසානේට ගොඩ දාන්නේ ලක්ශෙක ලාබයක්ද,මිලියනයක ලාබයක්ද,කෝටියක ලාබයක්ද නැත්තන් කෝටි ගානක ලාබයක්ද කියන එකට වඩා පටන් ගත්ත තැන කොහොමද දැන් කොහොමද කියන එකයි වැදගත්.පයින් ගිය එකා බයික් එකක යන එක ගේමක්, බයික් එකේ ගිය එකා කාර් එකක යන එක ගේමක්.ඒ වගේම කාර් එකේ යන එකා පයින් යන එකත් ගේමක්.අත්වල කරගැට පොකුරු එක්ක ගොඩ ගිය ගොඩක් එවුන්ට අනිත් උන් අදාල නෑ.ඒකට ගොඩක් එවුන් කියන්නෙ ලොකුකම කියලා.ඇත්තටම ඒක ලොකුකමනම් මටනම් හිතෙන්නෙ ඒ ලොකුකම පට්ට සැප ඇති.
~~ මයෝ ~~
No comments:
Post a Comment