Wednesday, May 1, 2024

---- මල් --


බිස්නස් එකක් කරලා ගොඩ යන්න පොඩියට පටන් අරගෙන දඟලන එකෙක්ට හිඟමන් දෙන එක සක්කිලි වැඩක්.එහෙම දෙන්ඩ ඕනෙනම් මුකුත් නොකර බිස්නස් එකට හිඟාකන කෙනෙක්ට දෙන්න පුළුවන්.නුවර එළිය පාරෙ මල් විකුණන එක බිස්නස් එකක්.එදා හිටිය උන් අද එතන නෑ.එක්කො බිස්නස් එකෙන් ගොඩ ගිහින් උන් පොඩියට මල් කඩයක් දාගෙන ඇති,එහෙම නැත්තන් පොඩි හෝටලයක් දාගෙන දැන් උන් රොටී එක්ක ඌරුමස් කන්න දීලා ප්ලේන්ටි විකුණනවා ඇති,එහෙමත් නැත්තන් සුද්දෙක්ට සෙට් වෙලා රට ගිහින් ගේමක් ගහගෙන ඇති.ඒක ඒ ඒ ප්‍රදේශ වලට අදාලව ගොඩනැගෙන ව්‍යාපාර අවස්ථා.සුද්දො සෙට් වෙලා හරි පිට රටකට යන්න ඕනෙ වෙන ක්‍රමයක් හොයාගෙන හරි පිටරටක ගිහින් ගේමක් ගහගත්ත බීච් බෝයිස්ලා,හොටෙල් වල වැඩ කරපු කොල්ලො,ටුවරිසම් කරපු කොල්ලො මේ රටේ ඕනෙ තරම් ඉන්නවා.ඒ ට්‍රැක් එකට සෙට් වෙන්ඩ හේතුව සහ පරමාර්ථය ඒකනම් ඒකෙ කිසිම අවුලක් නෑ.හැබැයි මොන හේතුවකට මල් වික්කත්,බීච් බෝයි කෙනෙක් වුණත් මොකක් කරත් උන් කරන්නෙ උන්ගෙ වැඩක්.ඒක හිඟාකන එක නොවන තාක් උන්ට හිඟමන් දෙන්න යන එක එක්කො වීඩියෝ එකක් දාලා අපි හොඳායි,අපිට හෙන දුකායි,අපි දහදෙනෙක් එකතුකරලා රුපියල් දාහක්ම දීල මල් එකත් ආයෙ විකුණගන්න කිව්වා වගෙ ගොන් ආතල් එක්ක ගන්න දෙන බොලඳ ට්‍රයි එකක්,එහෙමත් නැත්තන් අහින්සකයෙක් ඉස්සරහ පොර වෙන්ඩ දඟලන සිඟිති ආතල් එකක්,එහෙමත් නැත්තන් යන වාහනෙ ඉන්න අනිත් උන්(නෑදෑයො,යාළුවෝ හරි මොකුන්හරි) ඉස්සරහා සහකම්පනේ පෙන්නන්ඩ තියෙන උවමනාවක් මිසක් බිස්නස් එකෙන් දියුණු වෙයන් කියලා දෙන උදව්වක් හරි ඇත්තටම සහකම්පනෙන් කරන වැඩක් වෙන්ඩ තියෙන ඉඩ ගොඩක් අඩුයි.විශේශයෙන්ම මේ සඳහම් දීපෙ.මොකද ගෙදර පූසට දුප් කියලා පයින් ගහලා සියළු සත්වයෝ නිදුක් වෙම්වා නීරෝගී වෙම්වා කියලා භාවනා කරන අම්මණ්ඩිලායි, අප්පොච්චිලයි මේකෙ ඕසෙට.

කිලෝමීටර් දෙක ගානෙ දවසට දහ පහළොස් වතාවක් දුවලා මල් මිටියක් විකුණගන්න එක බිස්නස් එකේ පළවෙනි අඩියනම් ඒක හිඟමනට දාන එක අවුල්.ඒකෙන් බිස්නස් එකක් ගොඬනගන එක පැත්තක තියලා තව සෙට් එකක් සෙට් කරගෙන එතන ජාවාරමක් පටන් ගන්නවා(දැනටත් ඔය නුවර එළියෙ පාරෙ වෙන්නෙ ගොඩක් දුරට එහෙම දෙයක් කියලා හිතෙනවා) කියන එක ලේසි කියන ඉඟිය දෙන එක තමයි අපි ඒ කරන්නෙ හිතෙන විදියට.උදාහරණෙකට දවසක් ඔය පාරෙ යනකොට පොඩි උන් ටිකක් මල් අරන් වහනෙ පස්සෙන් ඔය විදියටම ඇවිත් අපි වෙන වැඩකට වාහනේ නවත්තන වෙලාවක ලඟට එනවා.පොඩි උන්නෙ කියලා මල් ටික අරන් වාහනේට නගිනකොට දොර ලඟට ඇවිත් දොරවහපු ගමන් එක පොඩි එකෙක් කෑ ගහනවා අත අහු වුණා කියලා වාහනේ දොරට.සීයට දෙසීයක් විස්වාසයි අත අහුවෙන්න හේතුවක් නෑ.හැබැයි ඒක තමයි පුරුදු කරලා තියෙන විදිය ජාවාරමට.

අද ලංකාවෙ ගොඩක් දුරට හොඳම බිස්නස්මන් විදියට අඳුනගන්නෙ හොඳම ජාවාරම්කාරයෙක් වෙන්න තියෙන ඉඩ වැඩියි.ඒ අතරෙ ඇත්තටම බිස්නස් එකක් කරන මිනිස්සු ටිකක් මේකෙ ඉන්නවා.නිදාගෙන ඉන්න ළමයෙක් වඩාගෙන හදුන්කූරු විකුණන එක,නිදාගෙන ඉන්න ළමයෙක් වඩාගෙන මෙඩිකල් රිපෝට් ටිකක් අරන් ගිහින් ඔපෙරේශන් එකට සල්ලි ඉල්ලන එක,කතරගම දේවාල පාර දෙපැත්තෙ අව්වෙ හිටගෙන බඩදරු අම්මට කන්ඩ නෑ කියලා කීයක් හරි ඉල්ලන එක,බඩගමුවෙ කැලේ හෙවණෙ වාහනයක් නවත්තලා තේ එකක් බොන්න පටන් ගත්ත තැන ඉදන් සාත්තර කියන්ඩ පස්සෙන් පන්නලා එපා කිව්වම සාප කර කර දුවන එක, බාර ඔප්පුකරන්ඩ හිඟාකාලා දාන දෙන එක,කිහිලි කරු දෙකක් අරගෙන කෝච්චියේ හිඟමනේ ගිහින් හවසට මහව ස්ටේශන් එකෙන් බැහැලා බ්‍රැන්ඩි බාගයක් ගහලා ගෙදර යන එක ලංකාවෙ දැන් දුලභ නෑ.මේවා බිහි කරේ ඔය සහකම්පන සමාජමාදී ඔස්තාර්ලා තමයි.

සහසුද්දෙන්ම දවසට කිලෝමීටර් දහයක් පහළොවක් කන්දක් උඩට පහළට දුවන්ඩ පුළුවන් එකෙක්ට ඔස්තාර්ලගෙ අනුකම්පා හිල ඕනෙ නෑ.ඇත්තටම උදව් කරනවනම් උගෙන් ඇයි මේක කරන්නෙ අහලා ඇත්තටම ගොඩ යන්න දඟලන එකෙක්ද හොයලා එහෙමනම් ඒකට ඕනෙ කරන මඟපෙන්වීම කරන එක වැදගත්.ඒකට ආර්ථික වශයෙන් උදව්වක් ඕනෙනම් ඒක දෙන එක වැදගත්, හිඟමන් දීලා වීඩියෝ කරලා ඌව විකුණන් කනවට වඩා ඔස්තාර් සමාජමාදී සහකම්පනේ වෙනුවෙන්.පෞද්ගලිකව මැදිහත් වෙලා එහෙම ගොඩ දාපු පිරිසක් ඉන්න නිසා ඇත්තටම ගොඩ යන්න ඕනෙ එවුන්ට දෙන පොඩි තල්ලුවකින් හරි ට්‍රැක් එකට වැටුනම උන් ඉස්සරහට යන්නෙ කඩාගෙන,නවත්තන්ඩත් අමාරුයි කියලා පොඩි අදහසක් උදාහරණ එක්ක තියෙනවා.

මල් විකුණන එක ජාවාරමක්.අහු වුණොත් දඩේ පන්දාහයි,ශරීර ඇපයයි.ගොඩක් දුරට ඇපේ තියන්නෙ උගෙ ගෑණි චූටි එකෙක් ඉණේ ගහගෙන ඇවිල්ලා.

මල් විකුණන එක බිස්නස් එකක්.දියුණු කරගත්තොත් උසාවියෙ විනිසුරුතුමාගෙ පුතාගෙ වෙඩිමටත් මල් විකුණන්ඩ පුළුවන්.ඒ හින්දා පන්දාහෙ ඇපේට මල් ජාවරම් කරන උන් බිහිකරන එක නවත්තගන්න පොඩි උත්සහයක් හරි ගමු.

~~ මයෝ ~~

No comments:

Post a Comment