Wednesday, May 1, 2024

 "එයා අරලිය මලක් කණේ ගහගෙන ලස්සනද අහයි තව ටිකකින් අරූගෙන්"

වෙනදට වඩා කලින් යන්න වුණ හයර් එකකට මම ගෙදරින් පිටත් වෙනකොට පාන්දර තුනට විතර ඇති.

"හෙලෝ,ගුඩ් මෝර්නින් මල්ලි.එනගමන් අපේ ෆොටෝ ගන්න මල්ලිලා දෙන්නත් ශොප් එක ල‍ඟින් දාගෙන එන්න පුළුවන් නේද?"

වෙඩින් හයර් එකක් කිව්වම කොහොමත් සේරම දාගෙන යන්ඩ හදන්නෙ වෙඩින් කාර් එකේම තමයි.දැන් බඩු සේරමත් පටවෙගන පලයන්කො කියලා හිත හිත වාහනේ එළියට අරන් කියපු තැනට ලන් වුණා ෆොටෝ කාරයො දෙන්නව දාගන්න.

"ගුඩ් මොර්නින් අයියෙ"

"ගුඩ් මෝර්නින් මචන්,නැඟපන්.බඩු ටික ඩිකියෙන් දාමු"

අපි පිටත් වුණා.මනමාලයයි යාළු මනමාලයයි දෙන්නම රජ ඇඳුම් ඇඳගෙන අමාරුවෙන් වාහනේට නැගගත්තා.පත්තර ඔතලා ඔතලා මෙවුන් කොහොම ඉන්නවද දන්නෙ නෑ.අනික හයර් එක කියපු විදියට මූ හවස් වෙනකල්ම මේක ඇඳගෙන ඉඳලා හොටෙල් එකට යද්දි කොහෙන්ද මන්දා ගලවනවා කිව්වෙ හවස.කොහොම හරි සේරම පටවගෙන බර කරත්තයක් කරපු වෙඩින් කාර් එකේ අපි පේරාදෙණියට යන්න පටන් ගද්දි පාන්දර පහට වගේ ඇති.

"මොන මගුලක්ද තවත් කරන්නෙ සැලූන් එකේ.අපි පිටත් වෙලත් ඉවරයි,තව පැයෙන් අපි ඔතන.ඔය තියෙන එකක් පටලගෙන එනවා හයයි තිහ වෙද්දි පාක් එක ලඟට"

මනමාලයා එහෙම කියලා ෆෝන් එක කට් කරේ අපි මාවතගම හරිය පහු කරනකොට.කොහොමත් කසාදෙ දවසෙ උදේට උන්දෙන්න කරන්නෙ රන්ඩු වෙන එක නැකත් වලට දුව දුව.හවසට වෙන්නෙ සල්ලි බේරන එකයි,එන්විලොප් දිග ඇර ඇර මදි පාඩු සල්ලි හොයන එකයි හනිමූන් එකට යන හොටෙල් එකට දානකල්.එහෙම නැත්තන් මනමාලි වමනේ දාන එක වංගුවක් ගන්න ගාණෙ.කතාව ඇහුණත් ඕක පුරුදු නැති එකක් නෙමෙයිනෙ කියලා මම පාඩුවෙ ඩ්‍රයිවර් වැඩේ කරගෙන ඉද්දි ඉස්සරහින් ඉඳගත්ත ෆොටෝ මලයා වෙනම කල්පනාවක.උට උගෙ මනෝ ලෝකෙ ඉන්න වැඩි වෙලාවක් හම්බුණේ නෑ.

"මල්ලි උදේට කාලත් නෑනෙ,අපි මොනවහරි බීලා යන්.තැනක් බලල නවත්තපන්"

මනමාලයා එහෙම කිව්වෙ කලින් කෝල් එකේ විදියට අපි ඉක්මණට ගියා කියලා ඌ බඳින්න යන ගෑණි දැන්ම ෆොටෝ ගහන තැනට එන්නෙ නැති හින්දා මයෙ හිතේ.

අපි තේ එකක් බොන්න නැවැත්තුවා.අරුන් දෙන්න රජ ඇඳුම් ඇඳගෙන බස්සන්ඩ බැරි හින්දා කන්ඩ ගත්ත එව්වයි තේ දෙකයි වාහනේට ගෙනිහින් දීලා ෆොටෝ මලයො දෙන්න එක්ක මම තේ එකක් බිව්වා.

"දුමක් ගහනවද බන්?"

මගෙ අතේ තිබ්බ සිගරට් පැකට් එක උන් දෙන්නට දික් කරපුවම උන් දෙන්නගෙ මූණෙ මල් පිපුණා වගේ.

"ගහමු අයියෙ"

"උඹලා ගොඩක් කල් ඉඳන්ද මේ වැඩේ?"

" ඔව් අයියෙ,දැන් අවුරුදු පහක් විතර"

"මොකෝ තත්වෙ? ලාබද වැඩේ?"

"අවුලක් නෑ ,ශේප් එකේ යනවා"

"හොඳයි හොඳයි"

අපි පේරාදෙණියට එද්දි හයයි හතලිස්පහට ඇති.මනමාලි එනකල් තව පැය බාගයක් විතර ඉන්ඩ වුණා.වාහනේට වෙලා ඉන්න කම්මැලි හින්ද අපි ඇතුලට ගියා.ගිහින් මනමාලයව එක එක පැත්තට හරවලා කට්ටිය ෆොටෝ ගහන්න පටන් ගත්තා.ටික වෙලාවකින් මනමාලි,යාළු මනමාලි එක්ක තව දෙතුන් දෙනෙක් එතන්ට ආවා. දාන්ඩ තියෙන මේකප් සේරම දාලා ගොඩ දාලා තිබ්බත් ඒ වැඩ නැතත් ඒකි ලස්සන ඇති කියලා මට හිතුණා.අහිංසක පාටට හිටිය වැඩිය දැඟලිල්ලක් නැතුව සාරියේ කෑල්ලකුත් උඩට උස්සගෙන. 

ෆොටෝ මල්ලි එයාට ලස්සන ඈන්ගල් එන විදියට දෙතුන් දෙනාව කරක කරක ෆොටෝ ගහනකොට තමයි මම දැක්කෙ මනමාලිගෙ පිටේ ලස්සන ටැටූ එකක් ගහලා තිබ්බා.ගහපු එකේ පෙන්නන්ඩත් ඕනෙ හින්දා වෙන්ඩ ඇති කොන්ද කවර් නොකරපු ජැකට් එකක් ඇඳලා හිටියෙ.මුලින් දකිද්දි තිබ්බ අහින්සක ,ලස්සන මනමාලි කියන සීන් එකෙන් මාව පොඩ්ඩක් විතැන් වෙලා ආතල් එකක් ගන්න චරිතයක්දත් මන්දා වගේ එකක් හිතට එනකොටම

"ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා"

කියලා මතක් වුණ හින්දා මන් අහින්සක මනමාලි එතනම තියලා අර අම්බලමක් වගේ හදලා තිබ්බ එකේ කපල් එකක් රණ්ඩු වෙන දිහාට ඇස් දෙක හැරෙව්වා.

මනමාලී එතන්ට ආව වෙලාවට වඩා සෑහෙන වෙනසක් ටික වෙලාවක් ෆොටෝ ගහගෙන යනකොට මට පේන්න ගත්තා.ෆොටෝ මල්ලි එයාව අල්ලලා කරලා එහෙට මෙහෙට හරවලා ඇඳුම් හද හද ෆොටෝ ගද්දි ලැජ්ජාවටද කියලත් හිතුණා.

කලබලෙන් දුවන් ආව මනමාලි දැන් හරිම සංවර විදියට ෆොටෝ වලට ඉන්නවා. ෆොටෝ ටික ගහනකල් ෆොටෝ මල්ලි දිහා ඇස් පිය නොගහා බලන් ඉන්නවා.මනමාලයා දිහා හොරෙන් බලලා අහක බලනකොටම කැමරාවට ඇහැ යොමනවා.ඇත්තටම ඒක මඟුල් සක්වලක් කරන්න ෆොටෝ මල්ලිට ගියෙ පොඩි වෙලාවයි.

ගොඩක් දුරට ෆොටෝ ගහන මල්ලිලා මනමාලි එක්ක හිතවත් වෙන කසාද සෑහෙන්ඩ දැකලා තියෙන හින්ද මම හිතාගත්තා ෆොටෝ මලයා දෙකට ගණින්න බෑ වගේ හිටියට හොඳ වැඩකාරයෙක් කියලා. ආයෙ ඒකෙ හිතන්න දෙයක් නෑ.මේ විනාඩි දෙකතුනට කොල්ල මනමාලිව ගොඩ දැම්මා එහෙනම්.මනමාලයාට මේ වෙන සිද්දිය ගාණක්වත් නෑ.එන්ඩ කිව්වම එනවා.ෆොටෝ ටිකට ඉන්නවා.ආයෙම ඌ උගෙ වැඩ.

ඔය අතරේ ලයිට් අල්ලන්ඩ ආව අනිත් ෆොටෝ මල්ලි මන් ඉඳගෙන හිටිය තැනට දුවගෙන ආවෙ තව කැමරාවක් අරන් යන්න.

"මල්ලිගෙ බොසා හොඳ වැඩකාරයෙක් වගේ නෙහ්?"

කියලා මන් කිව්වටත් වඩා කියවුණා වගේ.

"ඔව් අයියෙ.පට්ට ඇහැක් තියෙන්නෙ"

"ඒක තමා,මට හිතුණා බලන් ඉද්දි"

කියලා හිනාවක් දැම්මෙ ඊට වඩා දෙයක් ඌ එක්ක කතාකරලා තේරුමක් නෑ කියලා හිතුණ හින්දා.

මට හිතුණෙම මේක ප්‍රපෝසල් එකක් වෙන්ඩ ඇති.ඒත් මට සැකම මේ ටැටූ එක.මේකිට විසේ නැත්තෙමත් නෑ.හැබැයි හංගන් ඉන්නෙ.මටත් වෙන වැඩක් නෑනෙ ඉතින්.අනික මන් හිතන එක කාටවත් පේනවා ඇහෙනවා කියලද.

ෆොටෝ වැඩ ටික ඉවර වෙලා අපිට ආයෙම යන්න තිබ්බෙ නුවර කිට්ටුව හොටෙල් එකකට.පැය දෙකක් විතර එක දිගට ෆොටෝ අරන් කට්ටිය තැන් තැන් වල ඉඳගත්තා. කපල් එක බංකුවකට බර දෙනකොට මම ටිකක් කිට්ටුව තිබුණ ලොකු ගහක මුලක් උඩ ඉඳගෙන මේ වෙන දේවල් දිහා බලන් හිටියා.

ටික වෙලාවකින් ෆොටෝ මල්ලි මගෙ ලඟට ආවෙ උගෙ කැමරාවත් අරගෙන.ඇවිත් ඌ කැමරාවේ පොඩි ස්ක්‍රීන් එක දිහයි කපල් එක දිහයි බල බල බර කල්පනාවක.මන් නිකමට ඌ දිහා බලද්දි උගෙ ඇස් ටිකක් රතුවෙලා.හරියට අඬන්න ඕනෙ වුණත් අඬන්න විදියක් නෑ වගේ.දුවාගන්න ඕනෙ වුණත් කකුල් දෙක පණ නෑ වගෙ.

"පට්ට කෑල්ල නේද බන්?"

"හ්ම්ම්"

"හැබැයි පාක් එකනම් සෑහෙන්න පුරුදුයි වගේ කෙල්ලට"

ස්ක්‍රීන් එකට මූණ දාද්දි ඌ බල බල හිටිය මනමාලිගෙ ෆොටෝ එක දිහාබලලා මන් එහෙම කිව්වම ඌ මන් දිහ බැලුවෙ මේ ලෝකෙම නැති වෙච්ච එකෙක් වගේ.වෙන්නෙ මොකක්ද හිතාගන්න බැරුව මම උගෙ ඇස් දෙකෙන් ඇස් අහකට අරන් ඉස්සරහා බලාගත්තෙ ඌ අඬයි කියලා බයට වගේ.

"මනමාලිට පාක් එක විතරක් නෙමෙයි අයියෙ,ඔය බංකුවත් පුරුදුයි"

" ඒ මොකද බන් ඒ?"

"එයා අරලිය මලක් කණේ ගහගෙන ලස්සනද අහයි තව ටිකකින් අරූගෙන්"

ඌ එහෙම කියද්දි මට ආයෙම ඌ දිහා බැලවුණා.වෙන්නෙ මොකක් වුණත් ආයෙ මට කියන්න දෙයක් මෙතන ඉතුරු වෙලා නෑ කියලා මට හිතුණේ එතකොට.උගෙ ඇස් දෙකේ එල්ලිලා ඉඳලා ඉඳලා බැරිම තැනද කොහෙද කදුළු බින්දු දෙක තුනක් කැමරාව උඩට වැටුණා.මන් කපල් එක ඉඳන් හිටිය බන්කුව දිහා නිකමට බලද්දි ඒකි චූටි අරලිය මලක් අහුලන් කණේ ගහගෙන ඉස්සරහ පිට්ටනිය දිහා බලන් ඉන්නවා.

"බංකුව විතරක් නෙමෙයි අයියෙ ඒකිට මාවත් පුරුදුයි.පුරුදු නෑ වගේ හිටියට"

~~  මයෝ  ~~

No comments:

Post a Comment